Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අකිල - ප්‍රවීන් - අවිශ්ක ඉන්දියාව මෙල්ල කරති

අකිල - ප්‍රවීන් - අවිශ්ක ඉන්දියාව මෙල්ල කරති

editorial - 2021 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉවක් බවක් නැතිව පහර දෙමින් සිටි ඉන්දීය පිතිකරුවන් කදිමට මෙල්ල කරගත් අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමග එක්වූ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්‍ෂ අද පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ඉන්දීය ඉනිම ලකුණු 225 කට සීමා කිරීමෙන් පසුව පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 39 ක් නිමාවේදී ජයටැඹ පසුකර ගියහ.

වරෙක කඩුලු 3 කට ලකුණු 194 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා යන ආකාරයක් දිස්වූයේය. එහෙත් කෝඩුකාර පා දඟ පන්දු යවන්නා වූ රාහුල් චහාර්ගේ පන්දු යැවීම හමුවේ කඩුලු 3 ක් බිඳ වැටිණ. එන්න එන්නම වැඩිවෙමින් තිබූ පීඩනය හමුවේ නොසැලී චහාර්ට මුහුණ දුන් අකිල ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තැන්පත්කමත් - ආක්‍රමණශීලීත්වයත් මනාව සංකලනය කරමින් විශිෂ්ට පිතිහරඹයක යෙදුණු අවිශ්ක ප්‍රනාන්දු, ලකුණු 76 ක් ලබාගත්තේ පන්දු 98 කින් 4 ක් හතරේ සීමාවට යවමිනි. ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිව තිබූ ශතකය කරා යාම පසෙක තබා, සෙසු පිතිකරුවන් සමග සම්බන්ධතා ගොඩනැංවීමට උත්සුක වූ අවිශ්කගේ ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ රහස විය.

භානුක රාජපක්‍ෂ සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ අවිශ්ක, එහිදී භානුකට ලකුණු ලබාගැනීමේ වැඩි අවස්ථාව දෙමින් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගත්තේය.  ලකුණු 109 ක සම්බන්ධතාවෙන් අවිශ්කගේ දායකත්වය 36 ක් පමණක් වූවද එය තරගයේ හැරවුම් රේඛාව විය. තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට අවිශ්කගේ ඉනිම ඔහුට ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා දී තිබිණ.

වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් මෙම තරගයේ ඉනිමක් ඕවර 47 කට සීමා කෙරුණද ඕවර 43.1 කදී ඉන්දීය පිලේ ගමන නතර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

23 වැනි ඕවරයේදී ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ඉන්දියානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියහ. පස්වරු 6.30 ට නැවතත් ආරම්භ වූ තරගයේ දෙවැනි කොටසේදී ඉන්දීය පිතිකරුවන් මනාලෙස පාලනය කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉනිමේ අවසන් කඩුලු 7 ම ලකුණු 68 කට බිම දැමූහ.

ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව දැවී ගියේ යයි විනිසුරු තීරණයට ලක්වූ සුර්යකුමාර් යාදව් එය තුන්වැනි විනිසුරුවරයාට යොමු කළේය. දීර්ඝ විමසා බැලීමකින් පසුව රූපවාහිනී විනිසුරුවරයාගේ තීන්දුව වූයේ යාදව් දැවී නොගිය බවයි. ඒ වන විටත් ක්‍රීඩාගාරයට යමින් සිටි යාදව් ආපසු හැරී කඩුල්ල වෙත ගිය අතර පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යයා ආපසු හැරී ක්‍රීඩාගාරයට ගියේය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන්ට එරෙහිව ලැබුණු විනිසුරු තීරණ තුනක්ම විතීවි යොමුකරමින් ඒවා සියල්ලේම සාර්ථක ප්‍රතිඵල ලබාගත්හ. ඒවා අතර සූර්යකුමාර් යාදව් දවාගැනීමට කළේ අගනා ඉල්ලීමකි.

ප්‍රිත්වි ෂෝ, සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දසුන් ශානකගේ පන්දුවකින් ලකුණු 49 කට දැවී ගියේ දෙවැනි කඩුල්ල සඳහා පැවැති ලකුණු 74 ක සම්බන්ධතාව අවසන් කරමිනි. එතැනින් පසුව වුවද බුරුළක් නොපෙන්වූ ඉන්දියානුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු ලබාගත්හ. පළමු තරග දෙකේදීම ඉන්දීය පිතිකරුවන්ගේ සාර්ථකත්වය තිබුණේ ලකුණු සම්බන්ධතා මතය. අද තරගයේදී ඉන්දීය පිතිකරුවන් අසාර්ථක වූයේත් තුන්වැනි කඩුල්ලට පසුව සම්බන්ධතා අසාර්ථක වූ බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටි බැවින් ඔහු මෙම තරගය සඳහා ක්‍රීඩා නොකළේය. වනිඳු හසරංග සමගින් කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් අද තරගය සඳහා ක්‍රීඩා නොකළහ. ඔවුන් වෙනුවට රමේෂ් මෙන්ඩිස්, අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කළ අතර තිදෙනාම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළහ.

 

ප්‍රිත්වි ෂෝ... සහ සංජු සැම්සන් ...

 

ප්‍රිත්වි ෂෝ...

 

භානුක රාජපක්ෂ ....

 


අදහස් (1)

අකිල - ප්‍රවීන් - අවිශ්ක ඉන්දියාව මෙල්ල කරති
  • Nelson Godamanna Sunday, 25 July 2021 07:50 AM

    කාලයකට පසුව හොඳ තරගයක් නරඹන්න ලැබුණා. සතුටුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.