Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අ.ක්‍රි.ස. තීරණය වැරදියි - ක්‍රීඩා ඇමති

අ.ක්‍රි.ස. තීරණය වැරදියි - ක්‍රීඩා ඇමති

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කළේ තාවකාලික පියවරක් ලෙස බවත් එහිදී අතුරු කමිටුවක් පත් කිරීමේ තහනමක් පිළිබඳව අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවෙන් පැහැදිලි කිරීමක් කර නැති බවත් ක‍්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා ”ලංකාදීප” යට පැවැසීය.

ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව දක්වා තිබෙන ප‍්‍රතිචාර පිළිබඳව ”ලංකාදීප” ය කළ විමසුමකදී ඇමැති නවීන් දිසානායක මහතා එසේ පැවැසීය.

පසුගිය බදාදා (15) ඩුබායි නුවරදී රැස්වූ අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයට එරෙහිව අප‍්‍රසාදය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවට නිවේදනයක් කළේය.

ඒ අතර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වූණේ එම පරීක්‍ෂණය පවත්වා නිගමනයකට පැමිණෙන තුරු ශ්‍රී ලංකාවට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව ප‍්‍රදානය කිරීමට නියමිත ප‍්‍රතිපාදන තාවකාලිකව රඳවා ගැනීමට තීරණය කළ බවත්ය.

ලංකාදීපයට වැඩිදුරටත් අදහස් දැක්වූ ක‍්‍රීඩා ඇමැතිවරයා මෙසේද පැවැසීය. ‘‘මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. අතුරු කමිටුවක් අපි පත් කළේ තාවකාලික පියවරක් හැටියටයි. ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ කොතනකවත් සඳහන් වෙන්නේ නෑ අතුරු කමිටුවක් පත්කළ නොහැකි බවක්. අපේ නීතිඥවරුන් මේ ගැන කරුණු සොයා බැලූවා. මේ තත්ත්වය රටේ ස්වෛරීභාවයට බලපෑමක් එල්ල කරන බවයි මා විශ්වාස කරන්නේ. මම පළමුවෙන් හිතන්න  ඕන රටේ නීතියයි. අපි අතුරු කමිටුවක් පත් කළේ රටේ නීතියට අනුවයි. අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව අපට හිමි ප‍්‍රතිපාදන අත්හිටුවීම හරි දෙයක් කියලා මා විශ්වාස කරන්නේ නෑ. මොකද ඒක අපේ රටට ලැබිය යුතු දෙයක්.

කොහොම උනත් ඔවුන් දැනුම්දීලා තිබෙනවා මේ සම්බන්ධයෙන් මට කරුණු දැක්වීමේ ලිපියක් එවනවා කියලා. ඒ ලිපිය ලැබීමෙන් පසු අපි ඉදිරි පියවර ගන්නවා.

මේ අතර ක‍්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට කරුණු කීපයක් බලපෑ බවය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක‍්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම, ක‍්‍රිකට් තරග විකාශයට අදාළ සී.එස්.එන්. නාලිකාව සමග ඇතිකර ගත් ගිවිසුම් සම්බන්ධයෙන් පැනනැගුණ චෝදනා, ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක‍්‍රීඩකයන්ට ගිවිසුම් ඇති කරගැනීමේදී එල්ලවූ බව කියන බලපෑම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ට එල්ල වූ බව කියන බලපෑම් ඇතුළු පසුගිය කාලයේ මෙරට ක‍්‍රිකට් පරිපාලනයට එල්ලවූ චෝදනා ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට හේතුවූ මූලික කරුණු වූ බවත් ඇමැතිවරයා එහිදී පැවැසීය.


අදහස් (0)

අ.ක්‍රි.ස. තීරණය වැරදියි - ක්‍රීඩා ඇමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.