Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 94 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 2-3 එස්.එස්.සී. පිටියේදී

94 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 2-3 එස්.එස්.සී. පිටියේදී

editorial - 2024 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආනන්ද විදුහල හා නාලන්දා විදුහල අතර 94 වැනි මහා ක්‍රිකට් තරගය (සුලෝහිත සංග්‍රාමය) මාර්තු 2 සහ 3 දිනවල කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. විදුහල් දෙක අතර එක් දින ක්‍රිකට් තරගය මාර්තු 17 වැනිදා එස්.එස්.සී. පිටියේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වර්ෂ 1924 දී ආරම්භ වූ සුලෝහිත සංග්‍රාමයට මේ වසරේදී වසර 100 ක් පිරෙන නමුත් දෙවැනි ලෝක යුද්ධය, කොරෝනා වසංගතය ආදී කාලීන අවහිරවීම් නිසා මේ දක්වා පැවැත්වී ඇත්තේ මහ තරග 93 ක් පමණි. 

අන්තර්ජාතික ක්‍රිකට් පිටියට වැඩිම ක්‍රීඩකයක් පිරිසක් දායාද කළ ශ්‍රී ලාංකික පාසල් දෙකක් ලෙසින් ආනන්ද සහ නාලන්දා විදුහල් මේ වන විට ඉතිහාසයට එක්වී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර (නාලන්දා) මෙන්ම 1996 ලෝක කුසලාන දිනූ නායකයා වන අර්ජුන රණතුංග (ආනන්ද) දෙදෙනාම සුලෝහිත සංග්‍රාමයේදී ක්‍රීඩා කළ අය වෙති. ඔවුන් දෙදෙනාට අමතරව 1996 ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ රොෂාන් මහානාම, අසංක ගුරැසිංහ සහ කුමාර ධර්මසේන මෙන්ම පසු කලෙකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ මාවන් අතපත්තු (ආනන්ද) සහ මහේල ජයවර්ධන (නාලන්දා) දෙදෙනාද සුලෝහිත සංග්‍රාමයේදී පිත්ත හැසිරවූවෝ වෙති. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින අර්ධ ශතකය (1975 දී සුනිල් වෙත්තමුණි), මංගල ටෙස්ට් ශතකය (1982 දී සිදත් වෙත්තමුණි) සහ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය (1987 දී බ්‍රෙන්ඩන් කුරැප්පු) ලබාගත් තිදෙනාම ආනන්දීයයෝ වෙති. 2007 ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් මහ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයා වූයේ නාලන්දාවේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධනයි. 

ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට මෙම විදුහල් දෙකෙන් ක්‍රීඩකයෝ පස් දෙනෙක් ක්‍රීඩා කළහ. නායක බන්දුල වර්ණපුර සහ ලලිත් කළුපෙරැම නාලන්දාවෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් වූ අතර අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි සහ අජිත් ද සිල්වා ආනන්දීයයෝ වූහ. 

මෙවර සුලෝහිත සංග්‍රාමයේදී ඉරුත් ගිම්ෂාන් ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවන අතර සජිත විතානගේ නාලන්දා විදුහල් කණ්ඩායම මෙහෙයවයි. 

(ඡායාරූප- රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


අදහස් (0)

94 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 2-3 එස්.එස්.සී. පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.