Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දේශීය තරගාවලිය වෙනස් කරන්න

දේශීය තරගාවලිය වෙනස් කරන්න

editorial - 2021 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටිය තුලදී මෙන්ම ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කළකිරවන සුළු යැයි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මහතා පැවසයි. එංගලන්තයේ ස්කයි රූපවාහිනී සේවයේ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කරන සංගක්කාර මහතා පළමු එක්දින තරගයෙන් අනතුරුව රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

“ටිකක් නෙමේ... හොඳටම කළකිරවන සුළුයි. විශේෂයෙන්ම පිට්ටනියෙන් පිටත සිදුවන සිදුවීම් සම්බන්ධයෙන්” යයි කී සංගක්කාර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල තරග රටාවට මූලික හේතුව දේශීය ක්‍රිකට් තරගාවලියේ පවතින දුර්වල තත්වය බවත්, ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එයම බවත් වැඩිදුරටත් කීවේය.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ සාර්ථක කණ්ඩායමක් ලෙස නැවතත් ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට නම් වත්මන් දේශීය තරගාවලි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් නිර්මාණය කෙරෙන ආකාරයට ගැලපෙන පරිදි වෙනස් විය යුතු බව සංගක්කාර මහතාගේ මතයයි.

“පිට්ටනියේදී අපි දකින දේ නම්, මේ ක්‍රීඩකයන්ට හැකියාවන්  තිබෙනවා වුණත්, ඒක අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සීමාවලින් එපිටට ගිහින් තියෙන දෙයක්. එහි මුල් තියෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට පැවැත්වෙන අන්තර් සමාජ (පළමු පෙළ) තරගාවලියේදී. ඒ තරගාවලියෙන් වඩා හොඳ ක්‍ර්‍රීඩකයන් බිහිවන්නේ නෑ.

“අපට පුහුණුකරුවෙක් හිටියා. ඔහු අපටත් ගුරු හරුකම් දුන්නා... ටේ‍රවර් බේලිස් මහතා..”
ඔහු කියපු දෙයක් තමයි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි කියාදෙන්න අන්තර්ජාතික මට්ටමේදී පුළුවන් කමක් නෑ කියන එක. ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්”

“ඒත් පිටියෙන් පිටත සිද්ධ වෙන දේවල් ගත්තොත්, තමන්ට නියමිත විනය නීති මාලාවට බැඳිලා, තමන්ගේ අවධානය එක මට්ටමක තියාගන්න ක්‍රීඩකයන් දැනගන්න ඕනා. විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂණ නීතිවලට බැඳෙන්න ඕනා. ඒවා අංක එකේ මූලධර්ම”
“දැන් සිද්ධවෙන දේවලින් පෙනෙන්නේ ඔවුන් තම අවධානය එක තැනක තියාගෙන නැති බවයි” යයි කී සංගක්කාර මහතා, වැරදි කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගත යුතු නමුත් එය ඔවුන්ගේ දියුණුව සඳහා පාදක කරගත යුතු බවද පැවසීය.

“මෙම ක්‍රීඩකයන් තිදෙනා ඉතා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්. එක්කෙනෙක් උප නායකයා. ඔවුන්ට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති. තරග තහනමකටත් ලක්වෙනු ඇති..... එහෙම වුණත්, පිටියේදීත් ඉන් පිටතත් ධනාත්මක ජීවන රටාවක් ගත කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරවීම සඳහාත්, ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස නිපුණතා අනුව පමණක් නොව මිනිසුන් ලෙසත් වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් විය හැකි මානසික උපදේශන ඔවුන්ට ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

“එය ජය ගැනීමට ඔවුන්ට උදව් කළ යුතුයි. මෙම තිදෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවට සැකයක් නෑ. නමුත් මෙම ක්‍රීඩකයින් ධනාත්මක ජීවන රටාවක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔවුන් වඩා හොඳ පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ක්‍රම තිබිය යුතුයි” යැයි ද හිටපු කඩුලු රකින්නාගේ අදහස විය.

- 2079


අදහස් (0)

දේශීය තරගාවලිය වෙනස් කරන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.