Last Update  :  2022-08-08 21:49:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවන්ගේ හොඳ හිත

ඕස්ට්‍රේලියානුවන්ගේ හොඳ හිත

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව එක්දින අන්තර්ජාතික තරග බිමට පිවිසි 1975 ලෝක කුසලාන තරගාවලියේ සිටම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තිබුණේ නොනවතින අරගලයකි. අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේම, මෙම අරගලය පැවතුණද ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියානුවත් ඉතාම හොඳ ක්‍රිකට් මිතුරෝ වෙති.

1975, ලන්ඩන් ඕවල් පිටියේදී ලකුණු 328 ක්   හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි දෙදෙනාවම රෝහලට යැවූයේ ජෙෆ් තොම්සන් බව සැබෑවකි. එහෙත් 1984 සිටම බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියට ආරාධනා කළේත්, ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් වලට ආරාධනා කළේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට “සල්ලි - දෙවියන්ගේ මල්ලි” වුණ 1995 දී පුහුණුකරුවා වශයෙන් ඩැව්නෙල්  වට්මෝර් සොයාදී, ඔහුගේ වැටුප ද ගෙවීමට ඉදිරිපත් වූයේත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයයි.
 
1996 දී කොළඹදී පැවැති ලෝක කුසලාන තරගයට ඕස්ට්‍රේලියානුවන් නොපැමිණියේ එවකට පැවැති යුද බිය සහ කොළඹ නගරයේ බෝම්බ පුපුරා යාම හේතුවෙනි. ඊට අමතරව තවත් හේතු තිබුණා වන්නටත් පුළුවන.

එදා එසේ වුවත්, මේ වන විට දුර්දාන්ත අර්ථික අගාධයකට වැටී සිටින ශ්‍රී ලංකාවට නොයන ලෙසින් ලෝකයේ බොහෝ බලවත් රටවල් තම තමන්ගේ පුරවැසියන්ට අවවාද කරද්දීත්, ඒ සියල්ල අලුයම  හෙළුෑ කෙළ පිඬක් තරමට මායිම් නොකළ ඕස්ට්‍රේලියානුවෝ සති 5 ක දීර්ඝ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

ලෝකය තනි යායක් කිරීමේදී ක්‍රීඩාවත්, කලාව හා සමතැන් ගනී.

ජන මන සුවපත් කිරීමේදී සාහිත්‍යය, සංගීතය, නාට්‍ය ඇතුළු සකළ කලාවන්ට කළ හැකිදේ, කිසිත් අඩු නැතිව ක්‍රීඩාවටත් කළ හැකිය. පසුගිය සෙනසුරාදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට රැස්වූවෝ ඒ බව සක් සුදක් සේ දනිති.
 
පොහෝදා පැවැති එක්දින තරගය පරාජය වුවද ක්‍රීඩා ලෝලීන් ආපසු ගියේ සන්තාපයෙන් නොවේ. ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 300 ක් ගැහැව්වා විතරක් නෙමේ හොඳ සටනකුත් දුන්නා යන තෘප්තිය, මධ්‍යම රාත්‍රී 1.00 පසුවන තුරුත් ඝණ අන්ධකාරයෙන් පිරුණු මහනුවර - මහියංගණය මහා මාර්ගයේ, පයින්ම සිය නිවෙස් බලා ගිය ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුළ තිබිණ.

රූපවාහිනියෙන් නැතහොත් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් තරගය හා සම්බන්ධව සිටි බොහෝ දෙනා, සෙනසුරාදා පැවැති විස්සයි-20 තරගයේ අවසන් ඕවර කිහිපය නැරඹූයේ කඳුළු පිරි දෙනෙතිනි. ශ්‍රී ලංකා කණ්ඩායම (පොදුවේ ශ්‍රී ලංකා ධරණි තලය) කෙරේ පැතිරුණු අනුපමේය ආඩම්බරය සහ අභිමානය විසින්, මේ දිනවල ශ්‍රී ලංකාවේ පොදු මහජනතාව පෙළන දුක් ගිනි කන්දරාව තාවකාළිකව හෝ, යටපත් කරනු ලැබ තිබිණ.
මේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ යථා ස්වභාවයයි.

ක්‍රිකට් ක්‍රීඩාව සමග ඇතිවන්නා වූ අන්තර්ජාතික සම්බන්ධතා වඩාත් දීර්ඝ කාලීනය. ක්‍රිකට් පිටියෙන් ඔබ්බට දිවයන එවන් සම්බන්ධතා, ඇතැම් විට අදහාගැනීමට බැරි තරම් වන අවස්ථාද නැතුවා නොවේ. 1995 දී, ඕස්ට්‍රේලියානුවන් විසින් ඩැව්නෙල් වට්මෝර් ශ්‍රී ලංකාවට තෑගි කරනු ලැබීමත් එවන් අවස්ථාවකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශීය පුහුණුකරුවකු ගෙන්වා ගනිමු යයි 1995 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ආනා පුංචිහේවා මහතා යෝජනා කළේ එවකට පැවැති ක්‍රීඩා සමාජ ලැදියාවත්, වෘත්තීය වගකීම් අතපසු කළ “අයියා - මල්ලී” සංස්කෘතියත් නිෂේධනය කිරීමේ අදහස ඇතිවය. ඔහුගේ උප සභාපතිවරුන් දෙදෙනා වූ උපාලි ධර්මදාස සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු විධායක කමිටුවෙන් එය ඉහළින්ම අනුමත විය.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට සුදුසු පුහුණුකරුවන් කවුරුන්ද යන්න ලෝකයේ අනෙක් රටවලින් විමසන ලදි. ඕස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූයේ ඩැව්නෙල් වට්මෝර් සහ ඒ වන විටත් අන්තර්ජාතික තරග බිමෙන් විශ්‍රාම ගෙන සිටි ඇලන් බෝඩර් දෙදෙනාය.

“ඇලන් බෝඩර්ගේ ඉල්ලීම, ඩොලර් මිලියනයක වාර්ෂික වැටුපක්. ඒ තරම් මුදලක් ගැන හිතන්න වත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් කමක් තිබ්බේ නෑ... කොහොමටත් අපට ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ. ඒත් මම ඩැව්ගේ අයැදුම් පත්‍රය දිහා බැලුවාම, මම හිතුවා එයා තමයි අපිට හොඳම කෙනා කියලා..” ආනා පුංචිහේවා මහතා අතීතය සිහිපත් කළේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 7 ක් ක්‍රීඩා කර තිබූ, 1954 මාර්තු 16 වැනිදා කොළඹදී උපන් ඩැව්නෙල් ෆ්‍රෙඩ්රික් වට්මෝර්, ඕස්ට්‍රේලියානු පුහුණු ආයතනවලදී ක්‍රිකට් පුහුණුකරුවකු වීම සම්බන්ධයෙන් විද්‍යාත්මකව හදාරා තිබිණ. ඔහු එවකටත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රිකට් විද්‍යායතනයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටියේය.

“වටිනාම දේ තමයි එයා ඉපදුනේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා එයාගේ හදවත ශ්‍රී ලංකාවේ එකක්. ඒක කියක් දීලවත් ගන්න පුළුවන් එකක් නෙමේ..... ඉතින් මා හිතුවා ඩැව් තමයි අපිට හොඳටම ගැලපෙන කෙනා කියලා” යයි ආනා පුංචිහේවා මහතා යළිත් අතීතයට ගියේය.

ඩැව්නෙල් වට්මෝර් මහතා හා දුරකතනයෙන් සම්බන්ධවී මූලික සාකච්ඡා පැවැත්විණ. වට්මෝර් මහතාගේ ඉල්ලීම් වූයේ වාර්ෂික වැටුප වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක්, ශ්‍රී ලංකාවේ පදිංචියට නිවසක්, ගමන් බිමන් සඳහා වාහනයක්, වැනි දේවල්ය.

වසර 1995 දී ඇමරිකානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 45 කට ආසන්න අගයක පැවතිණ. එවන් කලෙක ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක් යනු විශාල මුදලකි. එවන් මුදලක් ගැන සිතීමට වත් නොහැක. ඒත් අතට ආ කුරුල්ලාට යන්න හැරීමටද කළ නොහැක්කේමය.

“මේක නම් ආයේ හම්බවෙන අවස්ථාවක් නෙමේ..... කොහොම හරි මෙයාව ගෙන්න ගන්න ඕනේ...” පුංචිහේවා මහතා තීරණයක් ගත්තේය.
 
පුංචිහේවා මහතා, ඕස්ට්‍රේලියාවේ සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිත වෛද්‍ය කුවින්ටස් ද සිල්වා  මහතා ඇමතීය. වෛද්‍ය කුවින්ටස්  මහතා සාමාජිකත්වය දැරූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පදනමක් මෙල්බර්න් නුවර තිබිණ. පුංචිහේවා මහතාගේ ඉල්ලීම වූයේ වට්මෝර් මහතාගේ වාර්ෂික වැටුප ගෙවීමට මුදල් සොයාගත යුතු බවයි.

මේ අතරවාරයේදී ඩැව්නෙල් වට්මෝර් මහතා සමග ගිවිසුම අත්සන් කිරීමට පුංචිහේවා මහතා පියවර ගෙන තිබිණ. ගිවිසුම අත්සන් කිරීමට වට්මෝර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. එහෙත් වැටුප් ගෙවීමේ හිසරදයෙන් පුංචිහේවා මහතාට නිදහසක් නොතිබිණ.

අනපේක්‍ෂිත මොහොතක, වෛද්‍ය කුවින්ටස් ද සිල්වා මහතාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඩොලර් ලක්‍ෂයක මුදලක් දීමට එකඟ වී තිබුණද එහි කොන්දේසියක් වූයේ ඒ බව කිසිවකුට නොකියන ලෙසයි.

“මේ සල්ලි අපි දුන්නා කියලා කාටවත් කියන්න එපා.... අපි දුන්නා කිව්වත් කමක් නෑ... ඒත් දුන්නේ මොකටද කියලා නම් කියන්න එපා කිව්වා” යයි වෛද්‍ය කුවින්ටස් ද සිල්වා මහතා කීවේය.

පුංචිහේවා මහතා එකඟ වූයේය. විශේෂයෙන්ම වෛද්‍ය කුවින්ටස් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා වන බැවින්, ඔහු කිසියම් වගකීමක් ඇතිව මෙම කාර්යයට අතගසා තිබෙන බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ.

තවදුරටත් ප්‍රශ්න ඇසීමට නොගිය පුංචිහේවා මහතා, වෛද්‍ය කුවින්ටස් ද සිල්වා මහතාට මුව නොසෑහෙන සේ ස්තුති කළේය. ඩැව්නෙල් වට්මෝර්ගේ පමණක් නොව ඉන් පසුව තවත් ඕස්ට්‍රේලියානුවකු වූ ඇලෙක්ස් කුන්ටූරිස්ගේ සේවයත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිණ.

ටෝනි ග්‍රෙග් යනු දකුණු අප්‍රිකාවේ ඉපිද, එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ, එංගලන්ත නායකත්වය දැරූ නමුත් සිය පවුල සමගින් ඕස්ට්‍රේලියාවට ගොස් පදිංචි වූ අයෙකි. පසුව ඔහු ඕස්ට්‍රේලියානුවකු බවට පත්විය. 1995 දී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි චෝදනාවට ලක්වූ අවස්ථාවේදී ටෝනි ග්‍රෙග් මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන්ට බොහෝ උපකාර කළේය. මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි විනිසුරු ඩැරල් හෙයාර් චෝදනා කළ අවස්ථාවේදී ටෝනි සිටගත්තේ ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්තේ නොව, ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙනි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සන්දර්භය අභියෝගයට ලක්කිරීමට නිරන්තරයෙන් සූදානම් වී සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් පිරිසක්, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයකුව සිටි තිලංග සුමතිපාල මහතාට මුණගස්වන්නේද ටෝනි ග්‍රෙග් මහතාය.

එය මාධ්‍ය හමුවක් නොවුණත්, විශේෂ යමක් සොයමින් සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීහු ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයාගෙන් හරස් ප්‍රශ්න අසන්නට වූහ. මාධ්‍යවේදීන් හමුවේ තිලංග සුමතිපාල මහතාගේ පිළිතුරු සෘජුය. පැහැදිළිය. විස්තරාත්මකය.

“තරගයක ප්‍රධාන විනිශ්චයකරුවාට මේක කරන්න බෑ.... ඒක හරිම අසීරු වැඩක්.”
“ඒ කියන්නේ....” මාධ්‍යවේදීහු නැවතත් ප්‍රශ්න කළහ.

“ඔබ ප්‍රධාන විනිසුරුවරයා නම්, ඊළඟ පන්දුව නිපන්දුවක්ද (No Ball) නැද්ද කියලා බලන්න, ඔබට පන්දු යවන්නාගේ කකුල තියන තැන බලන්න වෙනවා. ඒත් එක්කම, එල්.බී.ඩබ්ලිව් තීන්දුව ගන්න නම් බෝලේ ගිහින් වැටෙන තැන බලන්නත් වෙනවා. පන්දුවේ දෝලනය ගැන අවධානයෙන් ඉන්නත් වෙනවා. ඉතින්, පන්දු යවන්නාගේ අතයි, කකුළයි, පන්දුව වැටෙන තැනයි, දෝලනයයි කියන හතරම එක වෙලාවේ බලන්න නම් විනිසුරුවරයා කොම්පියුටරයක් වෙන්න ඕනා” යයි තිලංග සුමතිපාල මහතා කීවේය. සුමතිපාල මහතාගේ මතය පසුදින ඕස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂෙත්‍රයම කළඹවාලීය. පසුපසින් සිටියේ අනෙකකු නොව ටෝනි ග්‍රෙග් මහතාය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රිකට් සම්බන්ධතා ගැන හොඳින්ම දන්නා තිලංග සුමතිපාල මහතා ද පසුගියදා සිය මුහුණු පොතට සුවිශේෂී සටහනක් එකතු කර තිබිණ.
“ශ්‍රී ලංකාවේ ජනතාව අද ඉන්නේ විනෝද වෙන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි. ශ්‍රී ලංකාවේ මිනිස්සු අද ගොඩක් වෙලාවට ඉන්නේ පෙට්ට්‍රල්, ඩීසල්, භුමිතෙල්, එහෙමත් නැත්නම් ගෑස් පෝලිම්වල. ශ්‍රී ලංකාවේ හැමදාම විදුලිය කප්පාදු කරනවා. ජනතාව ආර්ථික ප්‍රශ්නවල කරවටක්ම ගිලිලා ඉන්න වෙලාවක, ශ්‍රී ලංකාවට ගිහින් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඔවුන්ගේ පවුල්වල උදවිය, නෑදෑ හිතවතුන්, විචාරකයන් වගේ හුඟ දෙනෙක් ප්‍රශ්න කළා”

“මේ වගේ වෙලාවක ශ්‍රී ලංකාවට ගිහින් ක්‍රීඩා කළොත් ඒක තමන්ගේ රටටත් අපකීර්තියක් වේවි කියලත් සමහරු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ලොකු පීඩනයක් එල්ලකරලා තිබුණත්, ඔවුන් අපේ රටට ඇවිත් මේ විදියට ක්‍රීඩා කිරීමෙන් මාස හයකට, හතකට පමණ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැයවෙන සම්පූර්ණ මුදල පියවා ගන්න අපට හැකියාව ලැබෙනවා”

 “ඒ විතරක් නෙවෙයි. මේ තරගාවලිය නිසා අපේ රටට සංචාරකයනුත් පැමිණෙනවා. මේ තරගවල විකාශන අයිතිය අලෙවි කිරීමෙන් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගන්නත් පුළුවන්කම ලැබෙනවා. අපේ රට බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටින මොහොතක මේ ක්‍රිකට් තරගාවලිය අපට සැනසුම් සුසුමක් හෙළන්න ලැබුණු අනගි අවස්ථාවක්”  

“මේ වගේ තීරණාත්මක මොහොතක සංචාරයක් සඳහා අපේ රටට පැමිණීම ගැන සියලුම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට පින් අයිති විය යුතුයි” යයි තිලංග සුමතිපාල මහතා සිය මුහුණු පොතේ සටහන් කර තිබිණ.

මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි විනිසුරුවරුන් වන ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් දෙදෙනාම කී නමුත් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ  නැති බවත්, ඔහුට ඇත්තේ අස්වාභාවිකව කරකැවිය හැකි මැණික් කටුවක් මෙන්ම, උපතින්ම නැමුණු වැළමිටක් බවට තහවුරු කළේත් බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයයි.

5000 ක් පමණ පිරිසකට උන් හිටිතැන් අහිමිව, 30,000 කට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ සුනාමි ව්‍යසනයෙන් පසු, ෂේන් වෝන් ශ්‍රී ලංකාවට පැමිණියේ තමන්ට නිරන්තරයෙන්ම සරදම් කළ ශ්‍රී ලාංකිකයන්ට හැකි ආකාරයෙන් පිහිට වීමේ අරමුණ පෙරදැරිවය. එදා ෂේන් වෝන්ගේ ශ්‍රී ලංකා ගමන ආවරණය කළ, ඕස්ටේ්‍රලියානු රූපවාහිනී සමාගමකට අයත් “විනාඩි 60” වැඩ සටහන නිසා සුනාමියෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයේ තරම ලෝකය පුරා පැතිර ගියේය. එයින් අනතුරුව ලැබුණු බොහෝ ආධාර උපකාර ශ්‍රී ලාංකිකයන්ගේම යහපතත් සුබ සිද්ධියත් වෙනුවෙන්ම වූයේය.

2022 ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයත් එවැන්නකට නෑකම් කියයි.

- දමින්ද විජේසූරිය

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන්ගේ හොඳ හිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.