Last Update  :  2026-02-07 13:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැන්ද ඇත්තේත් ක්‍රීඩකයන් අතය
විස්සයි-20 ලෝක කුසලාන

හැන්ද ඇත්තේත් ක්‍රීඩකයන් අතය

editorial - 2026 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)
 
අතීතය අමතක කරදමා ඉදිරියට යාම මිස මෙවර ලෝක ක-ුසලාන තරගාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනත් මාවතක් ඇත්තේම නැත. කෝපාවිෂ්ඨව සිටින ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් සන්සුන් කළ හැක්කේ ජයග්‍රහණ කිහිපයකින්ම පමණි. එබැවින් නායකයන්ගේ සුරංගනා කතා මෙතැනට අවශ්‍ය නැත. 
 
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම ශ්‍රී ලාංකිකයන් සන්සුන් කිරීමට ප්‍රමාණවත් නොවන බව නම් කල්තබාම කියන්නට පුළුවන. එතැනින් එහාට යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ. එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සූදානමක් පවතින්නේ ද?, ඒ සියල්ලටම වඩා, ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට යාමේ අභියෝගය බාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමත් එහි නායකයාත් සූදානම් ද යන්න පිළිබඳවත් ඇත්තේ කුකුසකි. 
 
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ හෙට (ඉරිදා) අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයෙනි. අයර්ලන්තය යනු තරමක් දුරට සහනදායක කණ්ඩායමක් ලෙසින් සැලකිය හැකි නමුත් කිසි සේත්ම අවතක්සේරු කළ හැකි කණ්ඩායමක් නොවේ. විශේෂයෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20 ක් සහභාගි වන බැවින්, කොතැන කුමක් සිදුවේද යන්නට අනාවැකි කිව නොහැකිය. 
වගකීම ක්‍රීඩකයන් සතුය. 
 
එංගලන්තය හමුවේ විස්සයි-20 තරගාවලිය 3-0 කින් පරාජය වීමෙන් පසුව, දසුන් ශානක, පල්ලෙකැළේදී සිය හිතවතෙකුට කීවේ “මිනිස්සුන්ට මූණ දෙන්න බෑ” කියාය. දසුන්ට පමණක් නොව ඒ තත්ත්වය, පුහුණු කාර්ය මණ්ඩලයත් ඇතුළුව, කණ්ඩායමේ 25 දෙනාටම තිබේ. එහෙත් වගකීම මෙන්ම හැන්ද ඇත්තේත් ක්‍රීඩකයන් අතය. ක්‍රීඩකයන් අසාර්ථක වන්නේ නම් අනෙක් අයට බැණ අඬගැසීමේ තේරුමක් තියේද යන්න නැවතත් සිතාබැලීම වටී. 
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන්ට දීලා නැත්තේ ඉරත් හඳත් පමණි. අනෙක් සියලුම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට දී තිබේ. එහෙත් ‘උනන්දුව’ එන්නත් කළ නොහැක. 
 
ඉතාම සරළ උදාහරණය නම් අන්තර්ජාතික විනිසුරු කුමාර් ධර්මසේන මහතාගේ පාසල් ක්‍රිකට් දිවියයි. තවත් එක ලකුණක් හෝ වැඩිපුර ලබාගන්නට, කඩුලු 4 ක් නොව, කඩුලු 5 ඉනිමක් සම්පූර්ණ කරගන්නට 18 හැවිරිදි ධර්මසේනට තිබුණේ පුදුමාකාර උනන්දුවකි. එනිසාම ‘උනන්දුවා’ යන්න පාසල් සමයේදී ඔහුගේ අන්වර්ථ නාමය විය. 
අද වන විට ‘උනන්දුවා’ ලෝකයේ ඉහළම පෙළේ, ජාත්‍යන්තර මට්මමේ, සන්නාමයකි. 
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්, තමන්ගේම අනාගතය ගැන සිතන්නේ නම්, අයි.පී.එල්. හෝ සී.පී.එල්. තරගාවලියක තාවකාලික ක්‍රීඩකයකු වීමේ සිට ජාතික කණ්ඩායමක ස්ථාවර ක්‍රීඩකයකු වීමේ අවස්ථා ඕනෑ තරම් ඔවුන්ට තිබිණ. එහෙත් ඔව්හු ඒ අවස්ථා අලුයම ලූ කෙළ පිඬක් සේ වීසිකර දැමූහ. 
 
“ගිය හකුරට නාඬන්නේ, තියෙන හකුර රැකගන්නේ” යයි අපේ පැරැන්නන් කීවේ නිකම් නොවේ. එබැවින්  මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අතීතය අමතක කර අලුත් මාවතක් දිගේ ඉදිරියට යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම නායකයාද සතු වගකීමකි. එසේ නොවුණහොත් නායකයාට මෙන්ම කණ්ඩායමේ සිටින ඕනෑම කෙනකුටත් සිය ස්ථානය අහිමිවීමේ දිනය වැඩි ඈතක නැත. ඒවාට උදාහරණ ඕනෑතරම් තිබේ. 
 
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මාසයකට වැඩි කාලයක් දිගහැරෙන තරගාවලියකි. ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළ රඳා පවතින්නේ මෙවන් තරගාවලියක ආරම්භය නොව අවසානයයි.
 
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
 
අයර්ලන්තයට එරෙහිව - පෙබරවාරි 8 දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 
ඕමානයට එරෙහිව- පෙබරවාරි 12 දා පල්ලෙකැලේදී
ඕස්ටේ්‍රලියාවට එරෙහිව - පෙබරවාරි 16 දා පල්ලෙකැළේදී 
සිම්බාබ්වේට එරෙහිව - පෙබරවාරි 19 දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

අදහස් (0)

හැන්ද ඇත්තේත් ක්‍රීඩකයන් අතය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.