Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි පරාජයක්
3 වැනි විස්සයි-20 තරගය

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි පරාජයක්

editorial - 2026 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...)

පන්දු යවන්නන්ගේ උත්සාහයත් ධෛර්යත්, ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයට ඉහළින් මහවැලි ගඟට වීසිකර දැමූ ශ්‍රී ලංකා පිතිකරුවෝ, එංගලන්තය හමුවේ ලකුණු 129 ක් ලබාගත නොහැකිව අසරණ වූහ. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී පහසු ඉලක්කයක් කරා ගියද, ලකුණු 116 කට දැවී යාම හේතුවෙන් එම තරගයේදීත් ලකුණු 12 ක පරාජයකට  මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ 3-0 ක තරගාවලි පරාජයකට මුහුණ දුන්හ. 

විස්සයි-20 අන්තර්ජාතික තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තරගාවලි 9 කදීම 3-0 ක් ලෙසින් පරාජය වී තිබේ. අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියකදී 3-0 ක පරාජයක් ලැබුවේ 2024 දී ඉන්දියානුවන් අතිනි. 

ලකුණු 129 ක ඉලක්කය කරා යද්දී, ඕවර 9 කින් කඩුලු 2 කට ලකුණු 62 ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 8 ම ලකුණු 54 කට ඇද වැටිණ. එක ලඟ යැවුණු පන්දු දෙකකින් පවන් රත්නායක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා දැවීගිය අතර එම දැවීයාම් දෙකටම අදිල් රෂීඩ් සම්මාදම් වූයේය. එතැන් සිට ශ්‍රී ලංකා පිතිකරුවන් ගල ග්‍රහයෙන් ගත් එංගලන්ත පන්දු යවන්නෝ ගතවූ සෑම තත්ත්පරයකදීම පීඩනය වැඩිකරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 116 කට සීමා කළහ. 

17 වැනි ඕවරය නිමාවේදී, පන්දු 18 කින් ලකුණු 21 ක් අවශ්‍යව තිබූ ශ්‍රී ලංකා පිල සතුව කඩුලු 4 ක් තිබිණ. එහෙත් 18 වැනි ඕවරය යැවූ ජේකබ් බෙතීල් එම ඕවරයේදී කඩුලු 3 ක් දවාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට කට උත්තර නැතිවිය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර (24/5) ඇතුළු පන්දු යවන්නෝ එංගලන්ත පිතිකරුවන් ඇද බැඳ තබාගනිමින් පන්දු යැවූහ. එංගලන්ත පිලේ 6 වැනි කඩුල්ලත් ලකුණු 60 කට ඇද වැටුණ නමුත් අවසන් ඕවර 10 දී සිය කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවීයාමෙන් ආරක්‍ෂාකරගත් සෑම් කරන් (58), පසුපෙළ පිතිකරුවකු වන ලයාම් ඩෝසන් (14) සමගින් එක්ව ලකුණු 125 සීමාවෙන් එංගලන්තය එතෙර කළේය. 

පිට පිටම තන්වැනි තරගයටත් එකම තණතීරුව යොදාගත් හෙයින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 

දඹුල්ලේදී පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව පාදයේ ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර යළි කණ්ඩායමට එක්වූයේ තරග 4 කට පසුවය. වයිඩ් පන්දුවකින් පන්දු යැවීම ආරම්භ කළ නමුත් ඊළඟ පන්දුවේදී බෙන් ඩකට් දවාගැනීමට චමීරට හැකිවිය. එතැනින් ග්‍රහණය දැඩිකරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 60 ක් ඇතුළත එංගලන්ත කණ්ඩායමේ  ඉදිරි පෙළ මෙන්ම මැදපෙළ පිතිකරුවෝ 6 දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. 

ඉනිමේ අඩක් නිමාවෙද්දී එංගලන්ත ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 59 කි. 
මෙම තරගාවලියට පැරෂූටයකින් පාත්වූ කමිඳු මෙන්ඩිස්ගේ මුල්ම ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත් සෑම් කරන් සහ ලයාම් ඩෝසන් දෙදෙනා, 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක්  ගොඩනංවමින් ලකුණු 100 න් ඔබ්බට සිය කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඉනිම අග්ගිස්සේ අවසන් ඕවර 4 දී ලබාගත් ලකුණු 32 හේතුවෙන් එංගලන්තයට ලකුණු 128 ක් කරා යා හැකිවිය. 

 

 


අදහස් (0)

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.