අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඉසව්වේ සිවුවැනි වටයේ දී කසකස්තානයේ යරොස්ලාවා ශ්වෙඩෝවා පරදවා නව ග්රෑන්ඞ් ස්ලෑම් වාර්තාවක් පිහිටුවීමට ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (5 වැනිදා) සමත්වූවාය.
මේ 34 හැවිරිදි ක්‍රීඩිකාව ඊයේ ලකුණු 6-2 ක් සහ 6-3 ක් ලෙස ඉතා පහසුවෙන් කසකස්තාන ප්‍රතිවාදිනිය පරදවා අද්විතීය ග්රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ සිය 308 වැනි ජයග්‍රහණය වාර්තා කරමින් එතෙක් මෙතෙක් කාන්තා හෝ පිරිමි ඕනෑම කෙනකු ලැබූ ඉහළම ග්රෑන්ඞ් ස්ලෑම් ජයග්‍රහණ සංඛ්‍යාවට හිමිකම් කීවාය.
නිව්යෝක් නුවර පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයේදී ලැබූ වාර්තාගත ජයග්‍රහණයත් සමග දැන් ඇය අවසන් අට දෙනා අතරට එක්වී සිටින්නීය. සෙරීනා දැන් සිටින්නේ සිය 23 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට කුරුමානම් අල්ලමිනි.
දිනාගතහොත් මේ ඇයගේ 7 වැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව ද වෙයි.
කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 52 වැනි තැන සිටින කසකස්තාන ක්‍රීඩිකාව පරාජය කිරීමට මිනිත්තු 68 කට වඩා වැය නොකළ සෙරීනා ඊයේ අබිබවා ගියේ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ගේ වාර්තාවයි.
අර්ධ අවසන් පූර්ව වටයේදි ඇයට 309 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් ජයග්‍රහණය හිමිවනු ඇතැයි විචාරකයෝ දැනටමත් නොමසුරුව අනාවැකි පළ කරති.
මේ සතිය නිමාවනවිට තව දුරටත් ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ රැඳී සිටීමට සෙරීනා සමත්වුවහොත් එක දිගට සති 186 ක් තිස්සේ එම ස්ථානයේ පසුවෙමින් වැඩිම කාලයක් නොම්මර එකේ සිටින ක්‍රීඩිකාව ලෙසත් ඇගේ නමින් වෙනම පිටුවක් ඉතිහාසයට එක්වනු ඇත. දැනට ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකා ස්ටෙෆී ග්‍රාෆ් ය.
කෙසේ වෙතත් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 2 හිමි ක්‍රීඩිකාව වන ජර්මනියේ ඇන්ජෙලිකා කේබර් ද අවසන් අටට රිංගා සිටීන බැවින් නොම්මර එක රැක ගැනීමට නම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සෙරීනා සමත්විය යුතුමය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.