Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස් පිලේ අපරාජිත බව බිඳ දමති

සී.ආර්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස් පිලේ අපරාජිත බව බිඳ දමති

editorial - 2026 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) අටවැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 33-14 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

සී.අර්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පස්වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග හැව්ලෝක්ස් කණ්ඩායම තරගාවලිය තුළ මෙතෙක් රැකගෙන සිටි අපරාජිත බව බිඳ දැමීමටද සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය මතායස් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැති තරගයද වූ බැවින් මෙම ජයත් සමග 16 වැනි වරටත් එම කුසලාන තමන් සතු කරගැනීමටද සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 14-07 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 19 ක් සිය ලකුණු මල්ලට එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක්  මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 33-14 ක ජයක් ලැබීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ 19 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් තේනුක නානායක්කාර එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් සී.ආර්. කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. ඉන් නොනැවතුණ ඔහු 23 වැනි විනාඩියේදී සුබේර් දොරේ ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ දැමුවේය.  

අස්මීර් ෆාජුඩීන් 30 වැනි විනfඩියේදී ලබාගත් උත්සාහක දිනුමත් සමග හැව්ලොක්ස් කණ්ඩායම තරගයට අවතීර්ණ වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත එය ගෝල දිනුමක් බවට පත් කළේය. පළමු අර්ධය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී සී.ආර්. කණ්ඩායමේ මනිල්ක රුබේරු විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 3 ක් ගතවන විට සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට විදෙස් ක්‍රීඩක එනේසි වැන්ගනිසාවු සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද තේනුක නානායක්කාර විසිනි. 

එතැන් පටන් විනාඩි 20 කට වැඩි කාලයක් දෙපිලම ලකුණු ලබාගැනීම අපොහොසත් වූ අතර  නිහැඩියාවට තිත තැබූ චෙමෝද් මුතුනායක 66 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් සිවුවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. යළිත් ක්‍රියාත්මක වූ නානායක්කාර ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එයද ගෝල දිනුමක් බවට පත් කළේය. 

විදෙස් ක්‍රීඩක අමිටුවානායි විසෙසියෝ 71 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමත්, යෙහාන් බුලත්සිංහලගේ සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් සමග සිය ලකුණු සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ දමාගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ 76 වැනි විනාඩියේදී අනාරක්ෂිත ක්‍රීඩා විලාශය හේතුවෙන් සී.ආර්. කණ්ඩායමේ සෙනාල් අධිකාරම්ට විනිසුරුගේ දැඩි අවවාද සමග තරගයෙන් ඉවත්ව යෑමට සිදුවිය. කෙසේ වුවත් තරගය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් 5 වැනි උත්සාහක දිනුම වාර්තා කළ නායක ලසිඳු කරුණාතිලක සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස් පිලේ අපරාජිත බව බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.