Last Update  :  2026-02-19 23:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2026 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති මූලික ව‍ටයේ තරගයේදී ශ්‍රී ලංකාවට ‍එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 3 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනෙට් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ‍කැඳවාගෙන ගියේය.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් තඩිවනාෂේ මරුමානි (34) සමග එක්ව පන්දු 51 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙනට්, ඉන් නොනැවතී නායක සිකන්දර් රාසා (45) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු 26 කට මුහුණදුන් මරුමානි හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 26 කට මුහුණදුන් සිම්බාබ්වේ නායකයා තරගය කණපිට හැරවුයේ හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම වර්ණවත් කරමිනි. අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී රාසාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි.

සිම්බාබ්වේ ඉනිමේ 19 වැනි ඕවරයේදී රාසාගේ කඩුල්ල දවාගත් දුෂාන් හේමන්ත, ‍ශ්‍රී ලංකාවට යළිත් ජයග්‍රහණයේ බලාපොරාත්තු ගෙන ආවේ එම ඕවරයෙදීම ටෂින්ගා මුසෙකිවාද (1) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි.  ඒ අනුව 19 වැනි ඕවරය කඩුලු 2 ක් බිඳහෙළමින් ලකුණු 5 කට සීමා කළ හේමන්ත, අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 8 ක් රැස්කිරීමේ අභියෝගයක් ලබා දුන්නේය.  

එහෙත් අවසන් ඕවරය යැවීම සඳහා ඒ වන විට ඕවර 3 කදී ලකුණු 36 ක් ලබා දී තිබූ මහීෂ් තීක්ෂණ කැඳවීමට නායක දසුන් ශානක පියවර ගත්තේ සියල්ලන් මවිතයට පත් කරමිනි. අවසන් ඕවරයේ පළමු පන්දුවම කෙටි පන්දුවක් ලෙස යැවූ තීක්ෂණ තරගයේ ජයග්‍රහණය බන්දේසියක තබා සිම්බාබ්වේ කණ්ඩායමට පුජා කළ අතර එයට හයේ පහරක් එල්ල කළ ටෝනි මුන්යොන්ගා සිය කණ්ඩායමට පහසු ජයක් කරා යෑමට මාවත විවර කර දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට දසුන් ශානක ගත් තීරණයට සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස්කිරීමට සමත් වූහ. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී අගනා ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක, මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ හතරේ පහර 8 ක් සමග පන්දු 41 කින් ලකුණු 62 ක් රැස්කරමිනි.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් කුසල් පෙරේරා (22) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් (14) සමග එක්ව පන්දු 43 කින් ලකුණු 46 ක් එක් කළේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සාහ ගත් කුසල් පෙරේරා පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක් ලබා සිටියදී බ්ලෙසින් මුසරබානිගේ පන්දුවක් හමුවේ ග්‍රේම් ක්‍රීමර් අත‍ට උඩ පන්දුවක දෙමින් දැවී ගියේය.

පිට පිටම අර්ධ ශතක 3 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ලකුණු 14 කට දැවී ගියේ රයන් බර්ල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක තඩිවනාෂේ  මරුමානිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි. කුසල්ලා දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක්වන විට පැතුම් නිස්සංකද දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අසීරු තත්වයකට මුහුණ පෑවේය.

කෙසේ වුවත් එම අසීරු තත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුදවාගත් පවන් රත්නායක පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය. ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමේ අරමුණින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග බ්‍රැඩ් එවන්ස් යැවූ 18 වැනි ඕවරයේ මුල් පන්දු 4 දී ලකුණු 16 ක් රැස්කළ පවන් දැවී ගියේ පස්වැනි පන්දුවේදී ග්‍රෙම් ක්‍රීමර් අතට උඩ පන්දුවක් දෙමිනි.

කමිඳු මෙන්ඩිස්ට (7) සහ නායක දසුන් ශානකට (6) වැඩි වෙලාවක් කඩුල්ලේ රැදී සිටීමට සිම්බාබේවේ පන්දු යවන්නන් ඉඩක් ලබා නොදුන් අතර දුෂාන් හේමන්තට ආ පයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවූ‍යේ මුහුණදුන් පළමු පන්දුවේදීම රයන් බර්ල් අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 8 කට මුහුණදුන් දුනිත් වෙල්ල‍ගේ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 15 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 180 සීමාව ආසන්නයටම රැගෙන ආවේය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීර විවේක ගන්වමින් මෙම තරගය සඳහා ප්‍රමෝද් මධුෂාන් කැඳවා සිටි අතර එම තරගයේදී ආභාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට සංචිතයට කැඳවූ ඩිල්ෂාන් මධුෂංකද අද තරගයට ක්‍රීඩා කළේය. සිම්බාබවේ කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කළේ කිසිදු වෙනස්කමකින් තොරවය.

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.මුන්යොන්ගා ප.ක්‍රීමර්    62
කුසල් පෙරේරා - ඇ.ක්‍රීමර් ප.මුසරබානි          22
කුසල් මෙන්ඩිස් - ස්ට.මරුමානි ප.බර්ල්         14
පවන් රත්නායක -  ඇ.ක්‍රීමර් ප.එවන්ස්          44
කමිඳු මෙන්ඩිස් - ඇ. සහ ප.ක්‍රීමර්                  11
දසුන් ශානක - ඇ.මුසෙකිවා ප.මුසරබානි         6
දුනිත් වෙල්ලාලගේ - ‍නොදැවී                      15
දුෂාන් ‍හේමන්ත - ඇ.බර්ල් ප.එවන්ස්              0
මහීෂ් තීක්ෂණ - ‍නොදැවී                                0
අතිරේක                                                        8
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී            178

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ:

දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන්

 

කඩුලු වැටීම:

1-54(කුසල්), 2-100(මෙන්ඩිස්), 3-108(පැතුම්), 4-123(කමිඳු), 5-142(දසුන්), 6-164(පවන්), 7-163(දුෂාන්)

පන්දු යැවීම :

සිකන්දර් රාසා 4-0-36-0, ‍බ්ලෙසින් මුසරබානි 4-0-38-2, වෙලින්ටන් මසකඩ්සා 3-0-23-0, බ්‍රැඩ් එවන්ස් 3-0-35-2, ග්‍රේම් ක්‍රීමර් 4-0-27-2, රයන් බර්ල් 2-0-16-1 

 

සිම්බාබ්වේ
බ්‍රයන් බෙනෙට් - නොදැවී                                 63
තඩිවනාෂේ මරුමානි - ඇ. සහ ප.වෙල්ලාලගේ 34
රයන් බර්ල් - ඇ.පෙරේරා ප.ශානක                   23
සිකන්දර් රාසා - ඇ.ශානක ප.හේමන්ත              45
ටෂින්ගා මුසෙකිවා - ඇ.ශානක ප.හේමන්ත         1
ටෝනි මුන්යොන්ගා - නොදැවී                            8
අතිරේක                                                             8
එකතුව ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී             182

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:

ඩියෝන් මේයර්ස්, වෙලින්ටන් මසකඩ්සා, බ්‍රැඩ් එවන්ස්, ග්‍රේම් ක්‍රීමර් සහ බ්ලෙසින් මුසර්බානි

කඩුලු වැටීම:

1-69(මරුමානි), 2-98(බර්ල්), 3-167(රාසා), 4-169(මුසෙකිවා)

පන්දු යැවීම:

ඩිල්ෂාන් මධුෂංක 3-0-20-0, ප්‍රමෝද් මධුෂාන් 2-0-23-0, මහීෂ් තීක්ෂණ 3.3-0-47-0, දසුන් ශානක 3-0-26-1, දුෂාන් හේමන්ත 4-0-36-2, දුනිත් වෙල්ලාලගේ 4-0-27-1

 


අදහස් (0)

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.