Last Update  :  2026-02-13 20:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේ‍ලියාව මට්ටු කරති
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේ‍ලියාව මට්ටු කරති

editorial - 2026 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියක සුන්දර සිහිවටනයක් වන ‘පෙරළිකාර ජයක්’ අද (13 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැකගත හැකිවිය. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී, ඕස්ට්‍රේ‍ලියාව පරාජය කරමින් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 23 ක පෙරළිකාර ජයක් අත්කර ගත්හ. 

ඕස්ට්‍රේ‍ලියානුවන් විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේ 2 වැනි ස්ථානය හිමිකරගෙන සිටින කණ්ඩායම වූවත් විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේදී සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට හිමිවන්නේ 11 වැනි ස්ථානයයි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පැනගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 2 කට ලකුණු 169 ක් ලබාගත් අතර ඕස්ට්‍රේ‍ලියානුවෝ ඕවර 19.3 කදී ලකුණු 146 කට දැවී ගියහ. 

ඕස්ට්‍රේ‍ලියානුවන් මෙම අගාධයට ඇද දැම්මේ අඩි 6 යි, අඟල් 8 ක් උසැති බ්ලෙසිං මුසෙරබානි විසිනි. 29 හැවිරිදි වේග පන්දු යවන්නා, තරමක් මන්දගාමී ප්‍රේමදාස තණතීරුවේදී ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගත්තේ විස්සයි-20 අන්තර්ජාතික කඩුලු 100 කඩඉම ද පසුකර යමිනි. අද ඔහුගේ හොඳම විස්සයි-20 පන්දු යැවීම වාර්තා කළ දිනයද විය. 

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග වලදී නෙදර්ලන්තය පාකිස්තානුවන්ගේ ලේ රත් කළහ. එංගලන්තයට හීන් දාඩිය දැම්මවීමට නේපාලය සමත් වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියානුවන්ට දෙවියන් සිහිකළෝය. ඒවා එසේ වූවත්, ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් සිටි කණ්ඩායම ජයගත්තේය. 

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ, ‘ඕස්ට්‍රේ‍ලියානුවන්ට පහසු ජයක්’ අත්කරගත හැකි යයි කලින් ලියාතැබූ පිටපත ඉරා දැමූහ. ඉතාමත් පැහැදිළිව දැකගත හැකිවූ කාරණය නම්, සිම්බාබ්වේ කණ්ඩායමේ මෙම ජයග්‍රහණය අහම්බයක් නොව, මනා සැලසුමක් ඇතිව, අත්වැරදීම් නැතිව, ලබාගත් ජයග්‍රහණයක් වීමයි. 

තරගයේ වාසිය සිම්බාබ්වේ පිලට නැඹුරු වූයේ බ්‍රැඩ් එවන්ස්ගේ පන්දුවක් හමුවේ බෙන් ඩ්වාර්ෂියුස් ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව, ඩීප් මිඩ් විකට් හි සිටි ටෝනි මුන්යොංගා විසින් අති විශිෂ්ට ආකාරයෙන් රැකගනු ලැබීමෙනි. හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි මුන්යොංගා, මීටර 15 ක් පමණ දිවගියේය. උඩපන්දුව තවත් ඈතින් යද්දී ඒ වෙත පියාඹා ගිය මුන්යොංගා, දෝතින්ම පන්දුව ඩැහැගැනීමත් සමගින් ලකුණු 131 ක් ව තිබියදී 7 වැනි කඩුල්ලත් බිඳ වැටිණ. 

තවත් ලකුණු 8 කට පසුව ඕස්ට්‍රේ‍ලියානුවන්ගේ අවසන් බලාපොරොත්තුව වූ මැතිව් රැන්ෂෝ (65) දැවීගිය අතර අවසන් ඕස්ට්‍රේ‍ලියානු පිතිකරුවා දැවී ගියේ ද බ්‍රැඩ් එවන්ස්ගේ විශිෂ්ට පන්දු දමාගැසීමකිනි. 

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේ‍ලියානුවන් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ඔවුන්ට දවාගත හැකිවූයේ සිම්බාබ්වේ පිතිකරුවන් දෙදෙනකු පමණි. ඒ අතරවාරයේදී සිම්බාබ්වේ පිතිකරුවෝ ලකුණු 169 ක් ලබාගත්හ. 

ඉනිමේ ප්‍රවේශයේදී (ඕවර 1-06) කිසිවකු නොදැවී ලකුණු 47 ක් ලබාගත් සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෝ, පන්දු 74 කින් ලකුණු 100 ක් පුවරුවට දැමූහ. බ්‍රයන් බෙනට් ඉනිම පුරාම සිය කඩුල්ල රැකගනිමින් සිම්බාබ්වේ පිලේ කොඳු නාරටිය වූයේ පන්දු 57 කින් 7 ක් හතරේ සීමාවෙන් එපිටට යවමිනි. ඔහුගේ ඉනිමට හයේ පහර ඇතුළත් නොවීය. 

සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව විස්සයි-20 තරගයකදී සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් ලෙසින් සටහන් වූ නමුත් ඔවුන්ගේ අති විශිෂ්ට පන්දු රැකීම් සහ 29 හැවිරිදි මුසෙරබානිගේ පන්දු යැවීම හමුවේ එය තරගයක් ජයගත හැකි ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය විය. 

අදහාගත නොහැකි කාරණාව නම් ඕස්ට්‍රේ‍ලියානුවන් විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී සිම්බාබ්වේ පිල පරාජය කිරීමට තවමත් අසමත් වීමයි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි ආරම්භ කරමින් පැවැති 2007 තරගාවලියේදී, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදීත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේ‍ලියානුවන් පරාජය කළහ. අද තරගය දිගහැරුණේ එයින් වසර 19 කට පසුව වූවත් ප්‍රතිඵලය එක හා සමාන විය. 


සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 169 යි
(බ්‍රයන් බෙනට් නොදැවී 64, තඩිවංශේ මරුමානි 35, රයාන් බර්ල් 35, සිකන්දර් රාසා නොදැවී 25)

ඕස්ට්‍රේ‍ලියාව - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 146 යි
(ට්‍රැවිස් හෙඩ් 17, ග්ලෙන් මැක්ස්වෙල් 31, මැතිව් රැන්ෂෝ 65, බ්ලෙසිං මුසෙරබානි 17/4, බ්‍රැඩ් එවන්ස් 23/3)

- 213


අදහස් (0)

සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේ‍ලියාව මට්ටු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.