Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටෝක්ස් එක්දින තරග බිමෙන් සමුගනී

ස්ටෝක්ස් එක්දින තරග බිමෙන් සමුගනී

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර හෙට (19 වැනිදා) පැවැත්වෙන එක්දින තරගයෙන් පසුව තමා එක්දින තරග බිමෙන් සමුගන්නා බව එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි. 2019 වසරේදී පැවැති ‍එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව එංගලන්තයට දිනා දීම සඳහා මහඟු කාර්යය භාර්යයක් ඉටු කළ ස්ටෝක්ස් එහි අවසන් මහ තරගයේදී නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 84 ක්ද රැස්කළේය.

සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ස්ටෝක්ස් කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේම ක්‍රීඩා කිරීමේදී තමාට පැවරී ඇති රාජකාරී ප්‍රමාණය ඉතා අධික බවය. එ‍් හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් යුතුව තමා එක්දින තරග බිමෙන් සමුගැනීමට තීරණය කළ බවද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 104 කදී එංගලන්තය නියෝජනය කර ඇති ස්ටෝක්ස් එහිදී ලකුණු 2919 ක් රැස්කරමින් කඩුලු 74 ක් දවාගෙන ඇත. කෙසේ වුවත් අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරග‍ාවලියේදී ඔහුට පිතිකරුවකු ලෙස වැඩි යමක් කිරීමට නොහැකි විය. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 0 ක්, 21 ක් සහ 27 ක් ලෙසිනි.

ජෝ රූට්‍ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ ස්ටෝක්ස්, තමා නායකත්වය දැරූ පළමු තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව තරග 2-0 ක විශිෂ්ඨ ජයක් ලැබූ අතර ඉන්දියාවට එරෙහිව පැවැති තරගයද පහසුවෙන්ම ජයගත්තේය.

“අඟහරුවාදට මම ඩර්හැම්හිදී මගේ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරනවා. එම තරගයෙන් අනතුරුව මම එක්දින තරග බිමෙන් සමුගන්නවා. මෙය මට ඉතාමත් අසීරු තීරණයක් වුණා. මගේ කණ්ඩායමේ සගයන් සමග ක්‍රීඩා කළ හැම මොහොතක්ම මම උපරිමයෙන්ම වින්දා. අපි එක්ව හුඟක් දිගු ගමනක් ආවා.” යැයි ස්ටෝක්ස් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පැවසීය.

“එත් මම හිතනවා දැන් නවතින්න කාලය හරි කියලා. මට මගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න බැරිනම් මම තවදුරටත් මෙම ආකෘතියේ ක්‍රීඩා කළ යුතු නැහැ කියලා මම හිතනවා. එංගලන්ත කණ්ඩායමේ නිල කමිසයයේ වටිනාකම දන්නේ එය පැළදූ කෙනෙක් පමණයි. මට ඒක තදින්ම දැනෙනවා” යැයිද එහිදී ස්ටෝක්ස් කියා සිටියේය.

“ආකෘති තුනේම ක්‍රීඩා කිරීම මට දරාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මට දැනෙනවා එක්දින තරගවලදී කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වෙන දේ දෙන්න මට අපහසුයි කියලා. එතකොට මට හිතෙනවා මම තවදුරටත් කණ්ඩායමේ රැදී සිටීමෙන් නවක ක්‍රීඩකයකුට අවස්ථාව අහිමි වෙනවා නේද කියලා. ඒ නිසා ජෝස් ඇතුළු කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයකු අත්හදා බැලීමට අවස්ථාව සලසලා දෙමින් මම සමුගන්නවා.” යැයිද ස්ටෝක්ස් කීය.

“එක්දින තරග‍ බිමේදී අවසන් අවුරුදු 11 පුරාවට ගොඩනගා ගත් මතකයන් ගොඩක් මා සතුව තිබෙනවා. දැන් මම අනිත් ආකෘති දෙක ගැන වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ටෙස්ට් ආකෘතියෙන් මෙන්ම විස්සයි-20 ආකෘතියෙන්ද එංගලන්ත කණ්ඩායම ගෙනියන්න පුළුවන් උපරිම දුරක් ගෙනියන්න මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.” යැයිද අවසාන වශයෙන් ස්ටෝක්ස් සඳහන් කළේය.


-036


අදහස් (0)

ස්ටෝක්ස් එක්දින තරග බිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.