Last Update  :  2026-02-09 21:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ කඩුලු 8 කින් ජයගනී
විස්සයි-20 ලෝක කුසලාන

සිම්බාබ්වේ කඩුලු 8 කින් ජයගනී

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී මෑත කාලීනව හොඳ දස්කම් පෙන්වමින් සිටින සිම්බාබ්වේ ක්‍රීඩකයෝ අත්වැරදීම් නැති තරගයකින් සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළහ. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති මූලික වටයේ තරගයේදී ඕමාන කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තමන්ගේ පන්දු යැවීමේ බලඇණිය වගේම පිතිහරඹයේ සහ පන්දු රැකීමේ විශිෂ්ටතාවත් මැනවින් ප්‍රකට කරමින් සෙසු කණ්ඩායම් වෙත හීන් නිවේදනයක් නිකුත් කළහ. 

තරගය ආරම්භයේ සිටම සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර ඕමාන ක්‍රීඩකයෝ ගව් ගණනක් පසුපසින් වූහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන පිතිකරුවෝ බ්ලෙසිං මුසෙරබානි, බ්‍රැඩ් එවන්ස් සහ රිචඩ් න්ගරාවා හමුවේ ලකුණු 103 කට දැවී ගියහ. පහසු ඉලක්කයක් කරා යාමේදී කඩුලු දෙකක් වේලාසනින් දැවී ගිය නමුත් බ්‍රයන් බෙනට් සහ බ්‍රෙන්ඩන් ටේලර් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව මත සිටගත් සිම්බාබ්වේ පිතිකරුවෝ, ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබාගනිමින් තරගය අහවර කළහ. 

බ්ලෙසිං මුසෙරබානි, බ්‍රැඩ් එවන්ස් සහ රිචඩ් න්ගරාවා යන තිදෙනාම අඩි 6 ට වඩා උසින් යුත් වේග පන්දු යවන්නෝ වෙති. ඔවුන් තිදෙනා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව 9 කි. අනෙක් කඩුල්ල සිකන්දර් රාසා විසින් දවාගන්නා ලදි. ඉනිමේ ආරම්භක ඕවර 6 ඇතුළත ඇද වැටුණු කඩුලු 4 න් 3 ක් මුසෙරබානි සතුවිය. එතැනින් පහළට වැටුණු ඕමාන පිලට හිස ඔසවාගත නොහැකි විය. 

හත්වැනි ඕවරයේදී සිකන්දර් රාසා විසින් වසිම් අලී දවාගන්නා විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 27 ක් ලෙසිනි. එහෙත් සුෆියන් මහමුද් (25), විනයක් ෂුක්ලා (28) සහ නඩීම් ඛාන් (20) එක්ව ඕමාන කණ්ඩයම ඉදිරියට ගෙන ගියහ. අවසන් පිතිකරුවා වූ නඩීම් ඛාන් දවාගැනීමට බ්‍රයන් බෙනට් රැකගත් උඩපන්දුව මෙම තරගාවලියේ විශිෂ්ටතම උඩපන්දු වලින් එකක් වීම නිසැකය. දකුණු පසට හැරී මීටර 20 ක් පමණ ඉදිරියට දිවගිය බෙනට් දුටුවේ පන්දුව තවත් ඈතින් ඉගිළ යන බවකි. බිළාල කුලයේ පැන්තරයකු මෙන් පන්දුව වෙත පැන්න බෙනට් උඩ පන්දුව ඩැහැගත්තේ ඕමාන ඉනිම ලකුණු 103 කට සීමා කරමිනි. 

සිම්බාබ්වේ පිතිකරුවන්ගේ පළපුරුද්ද හමුවේ ලකුණු 103 ක් යනු පහසු ඉලක්කයකි. පන්දු 36 කින් ලකුණු 48 ක් ලබාගත් බ්‍රයන් බෙනට්ට අර්ධ ශතකය අහිමි වූවත්, තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාම ඔහුට වැඩි තෘප්තියක් ගෙන දුන්නේය. 


ඕමානය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 103 යි
(සුෆියන් මහමුද් 25, විනයක් ෂුක්ලා 28, නඩීම් ඛාන් 20, රිචඩ් න්ගරාවා 17/3, බ්ලෙසිං මුසෙරබානි 16/3, බ්‍රැඩ් එවන්ස් 18/3)

සිම්බාබ්වේ - ඕවර 13.3 කදී කඩුලු 2 ට 106 යි
(බ්‍රයන් බෙනට් නොදැවී 48, තඩිවංශේ මරුමානි 21, බ්‍රෙන්ඩන් ටේලර් 31, සුෆියන් මහමුද් 12/2)

- 213


අදහස් (0)

සිම්බාබ්වේ කඩුලු 8 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.