Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයන්ගේ කුසලාන යාපනයට

ශූරයන්ගේ කුසලාන යාපනයට

editorial - 2026 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ
 
කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම දඩුව්ම් පහර 3 - 1 කට පරාජය කරමින් යාපනය ශාන්ත මේරි කණ්ඩායම අන්තර් සමාජ ශූරයන්ගේ (චැම්පියන්) පාපන්දු කුසලාන දිනා ගත්තේය.ඒ අද (4) රාත්‍රීයේදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහ තරගය ජය ගනිමිනි.

තරගයේ නියමිත විනාඩි 90 කාලය තුළදී දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීමෙන් එය සම තත්වයෙන් අවසන් විය.ඒ අනුව ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා පැවැති දඩුව්ම් පහර පිරිණැමීමේදී යාපනය ශාන්ත මේරි කණ්ඩායම ලකුණු 3 - 1 කට තරගය ජය ගැනීමෙන් ඔවුන්ට මුදලින් රුපියල් මිලියනයක් සමග ශූරයන්ගේ කුසලාන හිමි විය.
 
පාපන්දු ආයතනය ‍මෙහෙයවූ මෙම තරගාවලියේ අනුශූරතාව හිමි කර ගත් සෝන්ඩර්ස් කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක් පිරිණැමුනි.අද තරගයේ නියමිත කාලයේ තරගය සමවීමේදී දෙපිලම ලකුණු වාර්තා කළේ පළමු භාගයේදී වීම කැපී පෙනේ.
 
ශාන්ත මේරි කණ්ඩායම විසින් ප්‍රබල ජාවාලේන් කණ්ඩායම දඩුවම් පහර 5 - 4 කින් පරාජය කරමින්ද හා කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම විසින් මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම ගෝල 2 - 0 කින් පරාජය කරමින්ද මෙම අවසන් මහ තරගයට නිර්දේශ තහවුරු කර ගත්තේය.
 
එහිදී උතුරු පළාතෙන් බිහිවූ ක්‍රීඩා සමාජයක් ලෙස මෙම තරගාවලිය ප්‍රබල කණ්ඩායම් ගණනාවක් අභිබවමින් යාපනය ශාන්ත මේරි කණ්ඩායම විසින් දිනා ගැනීම කැපී පෙනේ.1936 දී ආරම්භ කළ ශාන්ත මේරි ක්‍රීඩා සමාජය ශූරයන්ගේ තරගාවලියට උසස්වීම් ලබා ගත්තේ වසර 2022 දීය.

මෙරට පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන කොළඹ ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ප්‍රධානතම පාපන්දු ශූරතා රැසක්ම දිනා ඇත.කෙසේවූවත් ශාන්ත මේරි කණ්ඩායමේ ගෝල් රකින්නා වන එස්.ආර්නීකන්ගේ දක්ෂතා හමුවේ ශූරයන්ගේ කුසලාන දිනා ගැනීමේ ඔවුන් ගේ උත්සහය තියුණු අවසන් තරගයකින් පසුව අද රාත්‍රීයේදී වැළකී ගියේය.

මෙවර ශූරයන්ගේ තරගාවලිය කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් නව තරග ආකෘතියකට අනුව සංවිධානය කිරීමේදී ලීග් හා පිළිමළුන් පිටු දැකීමේ තරග වට දෙකකින් සමන්විත විය.එහිදී ලීග් වටයේ ශූරයන් වූ කුරුණෑගල ෆෙලිකන්ස් කණ්ඩායම සිය කැමැත්තෙන් දෙවනුව ආරම්භ වූ පිළිමළුන් පිටු දැකීමේ වටයෙන් ඉවත් විය.ඒ තැනට බේරුවල සුපර්සන් කණ්ඩායම ආදේශ කරමින් එම වටය ආරම්භ විය.

ලීග් ශූරතාව දිනූ කුරුණෑගල ෆෙලිකන්ස් කණ්ඩායමට රුපියල් මිලියන දෙකක්ද හා ලීග් අනුශූරතාව හිමි කර ගත් කොළඹ ජාවාලේන් කණ්ඩායමට රුපියල් මිලියනයක්ද ඊයේ රාත්‍රීයේදී පැවැති ජය සංකේත ප්‍රදානයේදී සිදු කෙරුණි.

මේ අතර මෙම තරගාවලියේදී (පිළිමළුන් පිටු දැකීමේ වටය) ජාවාලේන් කණ්ඩායම හා බේරුවල සුපර් සන් පිල අතර පැවැති තරගය වාර්තා ශ්‍රී ලංකා පාපන්දු වාර්තා  පොතට ඇතුළත් විය.ඒ මෙරට පාපන්දු තරගයකදී දෙපිලක් ලබා ගත් වැඩිම ලකුණු ගණන එහිදී වාර්තා වීමයි.

තරගය ගෝල 2 - 2 ක් ලෙස සමවීමෙන් පසුව පිරිණැමුනු දඩුවම් පහර අවස්ථා ලකුණු ගණනද කීප විටක්ම සමාන විය.අවසානයේදී ජාවාලේන් කණ්ඩායම දඩුවම් පහර 16 - 15 කට තරගය ජය ගන්නා විට මුළු තරග කාලයේදී දෙපිලෙන්ම ලකුණු (ගෝල ) 35 ක් වාර්තාවී තිබුණි.
 

අදහස් (0)

ශූරයන්ගේ කුසලාන යාපනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.