
(දමින්ද විජේසූරිය)
අමතක වීමෙන් ආත්ම විශ්වාසය ගෙදර තියා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය ජයගත්තේ අසීරුවෙනි. එහෙත් සියලු දෙනාගේම බලාපොරොත්තුව වන්නේ හෙට (12 වැනිදා) ඕමාන කණ්ඩායමට එරෙහිව තරග කිරීමට, පල්ලෙකැළේ බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම තමන්ගේ ආත්ම විශ්වාසයත් ගමන් මල්ලට ඔබාගන්නට ඇති බවකි.
වසර ගණනාවක් තිස්සේ ඕමාන ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයකු මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ‘සර්වකාලීන විශාරදයා’ ද වන දුලිප් මෙන්ඩිස් මහතාය. එහෙත් ඕමානය යනු ඉතා අඩුවෙන් ශ්‍රී ලංකාවට මුණගැසී ඇති කණ්ඩායමකි. මීට පෙර ශ්‍රී ලංකාව සහ ඕමානය මුණගැසී ඇති අවස්ථා තුනේදීම (එක්දින තරගයක් සහ විස්සයි-20 තරග දෙකක්) ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණ ලබා තිබේ.
අතීතය එසේ වුවත්, මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 20 න් එකක් වත් අවතක්සේරු කළ නොහැකිය. වනිඳු හසරංග වැනි විස්සයි-20 විශේෂඥයකු කණ්ඩායමේ නොමැති අවස්ථාවකදී අතීත වාර්තා පසෙක තියා අත්වැරදීම් නොවන තැනට කටයුතු කිරීම මූලික අවශ්‍යතාවකි.
පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් තිබියදී වුවත්, අයර්ලන්තය හමුවේ ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින්, තනි අතින් තරගය කරකැවූ හසරංග, වෙනුවට තවමත් අන්තර්ජාතික තරග 8 කට (විස්සයි-20 තරග 3 යි, එක්දින තරග 5 යි) පමණක් සහභාග වී සිටින දුෂාන් හේමන්ත පිටියට යවනවා ද යන්න ඊයේ සවස වන තුරුත් තීරණයක් ගෙන නොතිබිණ.
ඕමානය වැනි කණ්ඩායමක් හමුවේ, දුෂාන් හේමන්ත වැනි ලෝක කුසලාන කෝඩුකාරයකු පිටියට යැවීම එක අතකින් ඔහුට සිය ආත්ම විශ්වාසය වඩවා ගැනීමට දෙනු ලබන හොඳ අවස්ථාවකි. අනෙක් අතට දුෂාන් හේමන්ත ඕස්ටේ්රලියානුවන් හමුවට වීසිකරනවාට වඩා ඕමානය හමුවට යැවීම යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. අනෙක් අතට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුවට වඩා පල්ලෙකැළේ තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තත්ත්වයක තිබෙන බැවින්, එය දුෂාන් හේමන්ත නම් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ පැත්තෙන් වුවත් ඔහුට දෙනු ලබන හොඳ අවස්ථාවක් විය හැකිය.
වනිඳු හසරංග කණ්ඩායමේ නොමැතිවීම හේතුවෙන් තමන් වැඩි වගකීමක් බාරගත යුතු බව දුෂ්මන්ත චමීර ඊයේ (11 වැනිදා) සවස පල්ලෙකැළේදී පැවසීය.
එස්.එස්.සී. පිටියේදී පැවැති තරගයේදී අඩි 6 ට වඩා උස සිම්බාබ්වේ වේග පන්දු යවන්නන් හමුවේ ඕමාන පිතිකරුවෝ මහත් අසරණ වූහ. එබැවින් හෙට තරගයේදී දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ දෙදෙනා හමුවේ ඕමාන පිතිකරුවන් කෙසේ පන්දුවට මුහුණ දෙනු ඇත්ද යන්න පිළිබඳ ඇත්තේ කුකුසකි.
ශූද්ධ ලකුණු වේගය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම සිතා බලන බව දුෂ්මන්ත චමීරගේ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.
“අපි මේ තරගය දිනන්න ඕනා විතරක් නෙමේ, අපේ ශුද්ධ ලකුණු වේගයත් වැඩිකරගන්න බලාගන්න ඕනා... ඒත් අපි ඕමානය අවතක්සේරු කරන්නේ නෑ. අපි අපේ 100% ක්ම මේ තරගය වෙනුවෙන් දෙනවා” යයි චමීර කීවේය.
කමිඳු මෙන්ඩිස් මෙම ලෝක කුසලාන තරගාවලියට එක්වූයේ මහත් විවාද සම්පන්න සිදුවීම් මාලාවකට පසුවය. එහෙත් ඒ සියල්ල අමතක කළ වමත් පිතිකරුවා පළමු තරගයේදීම තමන්ගේ වගකීම අකුරට කළේය. අයර්ලන්තයට එරෙහි තරගයේදී කමිඳු ඔප්පු කර පෙන්වූයේ තමන්ගේ පිතිහරඹ හැකියාව පමණක් නොවේ. අවශ්‍ය අවස්ථාවකදී කණ්ඩායමේ නැංගුරම වීමේ හැකියාව තමන්ට ඇති බවත් එලෙසින්ම අවශ්‍ය විටෙක ඉවක් බවක් නැතිව පහරදීමේ හැකියාවත් තමන්ට ඇති බවයි.
එංගලන්තය හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයකින් පසුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පසුගිය ඉරිදා, කෙසේ හෝ අයර්ලන්තය පරාජය කර, මෙතෙක් සොයමින් සිටි දිනුම ලබාගත්හ. දැන් ඇත්තේ එතැන් සිට ඉදිරියට යාමයි. ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන අනුව, ඕස්ටේ්රලියානු තරගයට පෙර ඕමානය හා තරග කිරීමට ලැබීම එක අතකින් සැනසිලිදායකය.
වේග පන්දු යවන්නන් ගැන මොනවා කීවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නන් අමතක කර ගමනක් නැත. දුෂාන් හේමන්ත පමණක් නොව දුනිත් වෙල්ලාගේ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාත් දඟ පන්දු යවන්නන් මෙන්ම විශ්වාසය තැබිය හැකි පිතිකරුවෝ වෙති.
මෙම කරුණු අනුව, හෙට තරගයට පෙර එල්ල වන මිලියනයේ ප්රශ්නය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් අතර අනුපාතය 2 : 3 ද නැතහොත් 3 : 2 ද යන්නයි. බොහෝ විට එය 2 : 3 ක් විය හැකිය. කෙසේ වෙතත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය නම් 6 : 5 ක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
දසුන් ශානක නම් පසුගියදා කීවේ තමන්ගේ පිතිකරුවන්ට ලකුණු ලබාගත නොහැක්කේ තණතීරුවල පවතින දුර්වලතා හේතුවෙන් බවයි. පල්ලෙකැලේ තණතීරුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වඩා පිතිකරුවන්ට යෝග්‍ය බව කියන්නේ ඔහුගේම කණ්ඩායමේ පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීරයි.
ඉදින් දසුන් ශානකගේ පිත්තේ කෙරුවාව ගැනත් සමස්ත ශ්‍රී ලංකාවාසී ක්‍රිකට් ලෝලීහු විමසිලිමත් දෑසින් බලා සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.