Last Update  :  2025-06-30 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි

ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිලකරන්ත ඩිල්ෂාන්ගේ ශතකයෙන් සවිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් නුවර සෙඩාන් උද්‍යාන ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (15 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 6 ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ඒ අනුව තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.

තරමක මන්දගාමී ස්වරූපයක් ඉසිලූ සෙඩාන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී දෙපිලේම පිතිකරුවන්ට ප‍්‍රිය උපදවන ආකාරයට හතරේ සීමාව තරමක් කෙටි කර තිබීම කැපී පෙනුනු අතර ආරම්භයේ සිටම රිසිසේ පන්දුවට පහරදුන් ඩිල්ෂාන් අද වාර්තා කළේ සිය එක්දින තරග දිවියේ 19 වැනි ශතකයයි. ඩිල්ෂාන් එය ලබාගත්තේ ඇඩම් මිල්න් යැවූ ශ‍්‍රී ලංකා ඉනිමේ  43 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවට ගැසූ අතිශය වේගවත් කවර් ඩ‍්‍රයිව් පහරකිනි.

ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකා ඉනිමේ සුක්කානම අතට ගත් ඩිල්ෂාන් සෙඩාන් උද්‍යාන කී‍්‍රඩාංගණය රැස්ව සිටි නරඹන්නන් සතුටින් උද්දාමයට පත්කරමින් සිය පිත්ත හැසිරවීය. හරියටම පන්දු 100 කින් වාර්තා වූ ඩිල්ෂාන්ගේ ශතකයට හතරේ පහර 14 ක් එක්වී තිබිණි.

ශතකය ලබාගැනීමෙන් පසුව ඩිල්ෂාන්ට අවශ්‍ය වූයේ හැකි තරම් ඉක්මනින් තරගය අවසන් කිරීමයි. මැතිව් හෙන්රි විසින් යවන ලද 46 වැනි  ඕවරයේදී කෙටි පන්දුවකට හුක් පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී කඩුලූ රකින ලූක් රොන්කි වෙත උඩපන්දුවක් දීමෙන් ඩිල්ෂාන් දැවී යනවිට ඔහු ලකුණු 116 ක් ලබා සිටියේය. ඒ වන විට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය වී තිබුණේ ලකුණු 12 ක් පමණි.

අනතුරුව හෙන්රි යැවූ පන්දුවක් මිඞ් විකට් කලාපය හරහා හතරේ සීමාවට යවමින් නායක මැතිව්ස් තරගය නිමා කළේ නොදැවී ලකුණු 39 ක් සිය නම ඉදිරියෙන් සටහන් කරමිනි.

නවසීලන්තය ඉනිම ලකුණු 248 කට සීමාකරගැනීමෙන් පසුව, ඩිල්ෂාන් සමග ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවකට දායක විය. නේදන් මැකලම්ගේ පන්දුවකින්, කඩුල්ල මුවාකිරිමේ වරදට හසුවී කරුණාරත්න දැවී යනවිට පන්දු 38 කට මුහුණදී ලකුණු 21 ක් ලබා සිටියේය.

අනතුරුව ඩිල්ෂාන් සමග එක්වූ කුමාර් සංගක්කාර හයේ පහර තුනක්ද ඇතුළුව හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී ඇඩම් මිල්න්ගේ පන්දුවකට ගැසූ පූල් පහර වැරදී ගියේය. ඞීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයේ සිටි ටොම් ලේතම් උඩපන්දුව රැුක ගැනීමත් සමග සංගක්කාර ලකුණු 38 කට දැවී ගියේ ඩිල්ෂාන් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුවය.

මහේල ජයවර්ධන සහ ඩිල්ෂාන් එක්ව මුලූ ලකුණ සංඛ්‍යාව 163 දක්වා ඇදගෙන ගිය අතර ‘ලේට් කට්’ පහරකින් ලකුණු ලබාගැනීමට උත්සාහ කිරීමේදී මහේල දැවී ගියත් අනතුරුව පිටියට පිවිසි නායක මැතිව්ස් ආපසු කී‍්‍රඩාංගණයට ගියේ තරගය නිමා කිරීමෙන් අනතුරුවය.  

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ ආක‍්‍රමණශීලී ශතකය නිසා  ඕවර 50 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 248 ක් රැස්කිරීමට සමත්විය.

මාටින් ගප්ටිල් (10) සමග ඉනිම ආරම්භ කළ නවසීලන්ත නායක මැකලම් පිටියට පැමිණි මොහොතේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් සිය පිතිහරඹය වේගවත් කළේය. පළමු කඩුල්ලට ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් අනතුරුව එක්වූ ටොම් ලේතම් ලකුණු 5 කට දැවී ගිය ද ඔහු සමග  එක්ව ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටත් මැකලම් සමත්විය.

තිසර පෙරේරා යැවූ නවසීලන්ත ඉනිමේ 12 වැනි  ඕවරයේ දැඩි ප‍්‍රහාරයක් දියත් කළ මැකලම් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කරමින් එම  ඕවරයේ දීම සිය අර්ධ ශතකය වාර්තා කළේය. ඔහුගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 39 කිනි.

මැලකම්ගේ ශතකය වාර්තා වූයේ ද තිසර පෙරේරාගේ පන්දුවකට ගැසූ හතරේ පහරකිනි. එය ඔහුගේ පස්වැනි එක්දින ශතකය විය. ඔහු එක්දින ශතකයක් වාර්තා කළේ තරග 35 කට පසුව විම විශේෂත්වයකි.

ලේතම්ගේ දැවීයාමෙන් පසුව රොස් ටේලර් පිටියට පැමිණි මොහොතේ සිට පිතිහරඹයේ නිරතවූයේ වැඩි විශ්වාසයකින් තොරවය. දෙදෙනාගේ කඩුලූ අතර දිවායාම අවස්ථා කිහිපයකදිම සිදුවූයේ අවබෝධයකින් තොරවය.

සචිත‍්‍ර සේනානායක යැවූ 28 වැනි  ඕවරයේ පළමු පන්දුවෙන්ම මැකලම් දුවද්දී දැවීයාමකට හසුකර ගැනිමට තිබූ අනගි අවස්ථාවක් ශ‍්‍රී ලංකා පිල අහිමි කරගත්තේය. ටේලර් විසින් ෂෝට් ලෙග් කලාපයට පන්දුව තල්ලූ කරන ලද නමුත් ලකුණක් කරා යාම ප‍්‍රතික්ෂේප කළේය.  ඒ වනවිටත් මැකලම් පන්දු යවන්නාගේ සීමාවේ සිට අඩි කිහිපයක් දිව එමින් සිටියේය. ලකුණු 104 ක් ලබා සිටි මැකලම් ආපසු හැරී දිව ගිය අතර ඔහු නූලෙන් ගැලවුණේ ළහිරු තිරිමාන්නට නිවැරැදිව සේනානායක වෙත පන්දුව යොමු කිරිමට නොහැකිවූ බැවිනි.

පසුව මැකලම් දැවී ගියේ ජිවන් මෙන්ඩිස් යැවූ පන්දුවකට ඔහු වෙතටම පෙරළා උඩපන්දුවක් ලබාදීමෙනි. ඒ වනවිට දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි.

මැකලම්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඩැනියෙල් විටෝරි (7), කොරී ඇන්ඩර්සන් (5), ලූක් රොන්කි (0) සහ නේදන් මැකලම් (13) සිවුදෙනාම දුවද්දී දැවීයාමට හසුවීම කැපී පෙනුණි. ලකුණු 49 ක් තුල කඩුලූ 5ක්ම එසේ බිඳ වැටිමෙන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් එක්ව නවසීලන්තය සටනක් දිය හැකි ලකුණු 248 ක් කරා ඔසවා තැබූහ.

ලකුණු පුවරුව

නවසීලන්තය
මාටින් ගප්ටිල් - ඇ.මැතිව්ස් ප.කුලසේකර     10
බ්‍රෙන්ඩන් මැකලම් - ඇ. සහ ප.මෙන්ඩිස්     117
ටොම් ලේතම් - ඇ.සංගක්කාර ප.හේරත්     5
රෝස් ටේලර් - ඇ.තිසර පෙරේරා ප.හේරත්     34
ඩැනියල් විටෝරි - දුවද්දී දැවී ගියා     7
කෝරී ඇන්ඩසන් - දුවද්දී දැවී ගියා     5
ලූක් රොන්කි - දුවද්දී දැවී ගියා     0
නේතන් මැකලම් - දුවද්දී දැවී ගියා     13
ඇඩම් මිල්න් - ස්ට.සංගක්කාර ප.සේනානායක    19
මැතිව් හෙන්රි - නොදැවී     20
ටෙ‍්‍රන්ට් බෝල්ට් - ඇ.තිරිමාන්න ප.සේනානායක    13
අතිරේක    5
එකතුව  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී     248

කඩුලූ වැටීම:
1-35(මාටින් ගප්ටිල්), 2-73(ටොම් ලේතම්), 3-158(බ්‍රෙන්ඩන් මැකලම්), 4-171(ඩැනියල් විටෝරි), 5-183(රෝස් ටේලර්), 6-183(ලූක් රොන්චි), 7-185(කොරී ඇන්ඩසන්), 8-207(නේතන් මැකලම්), 9-222(ඇඩම් මිල්නේ), 10-248(ටෙ‍්‍රන්ට් බෝලට්) 

පන්දු යැවීම:
නුවන් කුලසේකර: 8-0-40-1, තිසර පෙරේරා: 4-0-41-0, සචිත‍්‍ර සේනානායක: 10-0-55-2, රංගන හේරත්: 10-0-36-2, ජීවන් මෙන්ඩිස්: 10-0-47-1, තිලකරත්න ඩිල්ෂාන්: 7-0-27-0, ඇන්ජලෝ මැතිව්ස්: 1-0-2-0

ශ්‍රී ලංකාව
දිමුත් කරුණාරත්න - ක.මූ.කළා ප. නේතන් මැකලම්    21
තිලකරත්න ඩිල්ෂාන් - ඇ.රොන්කි ප.හෙන්රි    116
කුමාර් සංගක්කාර - ඇ.ලේතම් ප.මිල්නේ    38
මහේල ජයවර්ධන - ඇ.ටේලර් ප.හෙන්රි    27
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී     39
ළහිරු තිරිමාන්න - නොදැවී     2
අතිරේක    9
එකතුව  ඕවර 47.4 කදී කඩුලූ 4 ක් දැවී     252

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්

කඩුලූ වැටීම:
1-64(දිමුත් කරුණාරත්න), 2-116(කුමාර් සංගක්කාර), 3-163(මහේල ජයවර්ධන), 4-237(තිලකරත්න ඩිල්ෂාන්)

පන්දු යැවීම:
ටෙ‍්‍රන්ට් බෝල්ට්: 10-1-52-0, මැට් හෙන්ද්‍රි: 9.4-0-34-2, ඇඩම් මිල්නේ: 8-0-61-1, නේතන් මැකලම්: 6-0-40-1, ඩැනියල් විටෝරි: 10-1-40-0, කොරී ඇන්ඩසන්: 4-0-20-0

තරගයේ වීරයා: තිලකරත්න ඩිල්ෂාන්


අදහස් (0)

ශී‍්‍ර ලංකාව තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.