Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලාංකික දැවැන්තයකුගේ වටිනාකම
ගාල්ල ටෙස්ට් තරගය - 1

ශ්‍රී ලාංකික දැවැන්තයකුගේ වටිනාකම

editorial - 2024 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

සනන් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් දරන්නේ තාවකාළික වගකීමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහුට ඊට වඩා වගකීම් තිබේ. එහෙත් ශ්‍රී ලාංකික පුහුණුකරුවකුගෙන් කණ්ඩායමට වැඩි යමක් ලබාගත හැකි බව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා කියයි. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ධනංජය ඒ බව කියා සිටියේය. 
“එයා ලංකාව වෙනුවෙන් සෑහෙන තරමේ ක්‍රිකට් ගහපු කෙනෙක්. ඉතින් එයා වැඩිපුරම කරන්නේ එයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න එකයි”  

“එයා අපට හුඟාක්ම කියලා දෙන්නේත් උපායශීලී මෙහෙයුම් ගැනම තමයි. ඇරත් සනත් අයියා ඒවා විස්තර කරලා කියන විදිහට කණ්ඩායමේ අයට ඒවා වටහාගන්න හරිම පහසුයි... ශ්‍රී ලංකාවේ පුහුණුකරුවකුගෙන් ගන්න පුළුවන් වටිනාම දේත් ඒකයි” යයි ධනංජය කීවේය.
 
කණ්ඩායම ඇතුළේත්, ක්‍රීඩකයන්ගේ කාමරය ඇතුළේත් ‘සනත් ජයසූරියට’ තිබෙන බය පක්‍ෂපාත ගෞරවය විසින් බොහෝ දේ වෙනස් කර තිබේ. එහි වැදගත්ම කොටස වන්නේ සනත් ජයසූරිය යමක් කී පසුව කිසිවකු ඔහු සමගින් තර්ක කිරීමට ඉදිරිපත් නොවීමයි. 

ක්‍රීඩකයන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන නමුත් කිසිවකු සනත්ගේ මතය සමග ගැටෙන්නට යන්නේ නැත. එබැවින් කිසියම් උපායක් පිළිබඳ නිගමනයකට ආ කල්හි එය හොඳින් ක්‍රියාත්මක කෙරෙයි. මේ වසර 15 කට නැතිනම් 20 කට එපිටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කාමරයේ තිබූ සුවිශේෂී ලක්‍ෂණයකි. 

එදා ක්‍රීඩකයන්ගේ කාමරයේ හරිමැද සිටගෙන සිටියේ දුලිප් මෙන්ඩිස් මහතාය. නැතිනම් මයිකල් තිසේරා මහතාය. එසේත් නැතිනම් රංජිත් ප්‍රනාන්දු මහතාය. ඔවුන් යමක් කී පසුව කිසිවකු ඔවුන් හා වාද නොකළහ. 

ගාල්ලේදී අද (23 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු වූයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් කළ පිතිහරඹයෙනි. ලකුණු 35 ක මුල් ඉනිමේ අවාසියක් තිබියදීත් දිමුත් කරුණාරත්න (83), දිනේෂ් චන්දිමාල් (61) සහ ඇන්ජලෝ මැතිව්ස් (50) එක්ව කළ පිතිහරඹය නිසා සිව්වැනි ඉනිමේදී ආරක්‍ෂා කරගත හැකි ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිණ. 

තරගය ජයගත් නමුත් නායක ධනංජය ද සිල්වා ඒ ගැන පූර්ණ වශයෙන් තෘප්තිමත් නැත. 
“දෙවැනි ඉනිමේදී අපි හොඳින් පන්දුවට පහර දුන්නා තමයි. ඒත් පළමු වැනි ඉනිමේදී අපි අතින් ග්‍රහණය ටිකක් ලිහිල් වුණා. ඒ වගේ දේවල් වෙන්න නරකයි”

“මම හැමදාම කියනවා වගේ පළමු ඉනිමේදීම අපි අපේ හොඳම ක්‍රීඩාව කරන්න ඕනේ. එතකොට අපිට තරගයේ පාලනය අතට අහුවෙනවා” යයි ධනංජය කීවේය.

දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී කළේ වෙනස් භූමිකාවකි. එය ඔහුට පූර්ණ වශයෙන් ආගන්තුක නොවුණත්, චන්දිමාල් අංක 3 පිතිකරුවාගේ භූමිකාවට පිවිසියේ දිගු කලකින් පසුවය. 

“ඒක අපි එයත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. එහෙම කළේ කණ්ඩායමේ සමබරතාව ආරක්‍ෂා කරගන්නයි...” ධනංජය කීවේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන විශිෂ්ටතම සොයාගැනීම වන කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසියේ අංක 7 ස්ථානයෙනි. අංක 7 ස්ථානයේ සිටිමින් දිගින් දිගටම ලකුණු ලබාගත් කමිඳුව පිතිකරු ලයිස්තුවේ ඉහළට ගෙනැවිත් ඔහුගෙන් තවත් දීර්ඝ ඉනිමක් දිගහැර ගැනීම කණ්ඩායමේ අපේක්‍ෂාව විය. 

“ඒක හින්ද තමයි අපි මේ ගැන චන්දිමාල් එක්ක කතා කළේ. කණ්ඩායම වෙනුවෙන් ඒ වගකීම බාරගන්න චන්දිමාල් කැමති වුණා.” යයි කී ධනංජය...
“එයා ඒ කරපු දෙයින් කණ්ඩායමට විශාල උදව්වක් වුණා. අපි ඒකෙන් කණ්ඩායම සමබර කරගත්තා” යයි ද කීවේය.

එපමණක් ද නොවේ. අංක 7 සිටි කමිඳු මෙන්ඩිස්, අංක 5 ට පැමිණ මුල් ඉනිමේදී විශිෂ්ට ශතකයක් (114) ලබාගත්තේය. එයින් වඩාත් විද්‍යමාන කාරණය වන්නේ ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලයිස්තුව ස්ථාවර වී තිබෙන බවයි. 

“ලංකාවෙදි තියෙන තරග වලට නම් මේ පිතිකරු ලයිස්තුව වෙනස් කරන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නෑ” ය යන්න නායකයාගේත් අදහසයි. 

“ලංකාවේ ඉන්න හොඳම හත්දෙනා තමයි අපේ පිතිකරු ලයිස්තුවේ  ඉන්නේ. වරින් වර වුණත් ඒ හැම දෙනාම හොඳින් ලකුණු අරන් තියෙනවා.....” යයි ද ධනංජය කීවේය. 

“පළමු ඉනිමේදී අපි හරියට, ඒ කියන්නේ අපිට උවමනා විදිහට පන්දුවට පහර දුන්නෙත් නෑ. පන්දු යැව්වෙත් නෑ. අපි ඒ දේවල් හදාගන්න ඕනේ.... අනෙක දැන් ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ඒකාකාරී, නැත්නම් ඔහේ ගලාගෙන යන දෙයක් නෙමේ. පන්දු රැකීමේදී නවත්වන හැම ලකුණක්ම හරිම වැදගත්. මොකද සිව්වැනි ඉනිමේදී ලකුණු ලබාගැනීම ලේසි නෑ..”

“අපි දැන් කතාබහ කරමින් ඉන්නේ ඒ වගේ දේවල් ගැන.. ඒකට සනත් අයියාත් මට හුඟාක් උදව් වෙනවා” යයි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා කීවේය. 

එංගලන්තයේදී  ප්‍රභාත් ජයසූරියට පැවරී තිබුණේ පන්දු යැවීමේ අංශයෙන් තල්ලුව දීමකි. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ටෙස්ට් තරගය ජයගත්තේ වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමග ක්‍රීඩා කිරීමෙනි. 

එංගලන්තයේදී තල්ලුව දුන් ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවේදී ආක්‍රමණිකයාගේ භූමිකාව බාරගැනීම අපේක්‍ෂිත තත්ත්වයයි. ඔහු එය හරියටම කළේය. 

“අපේ පන්දු යැවීමේ අංශය දැන් හොඳයි. මොකද අපි එංගලන්තයේදී තරග කළේ වෙනස්ම තත්ත්වයක. අපි  එහේදි අපේ පන්දු යවන්නන්ට දුන්න සැලසුම් එයාලා හොඳින්ම ක්‍රියාත්මක කළා”

“ඇත්තටම ගාල්ලට එනකොට අපි තමයි සූදානම අඩු කණ්ඩායම වුණේ. මොකද එංගලන්තයේ පැවැති තුන්වැනි තරගයත් මේ තරගයත් අතර තිබුණේ දවස් කීපයක් විතරයි... කොහොම වුණත් ප්‍රභාත් හරි ඉක්මනින් එයාගේ තරග රටාවට හුරු වෙනවා. ඒක අපට තියෙන ලොකු වාසියක්”

“රමේෂ් වුණත් වරින් වර හොඳට පන්දු යැව්වා. ඒත් රමේෂ්ගෙන් තව දියුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. රමේෂ් වුණත් ප්‍රභාත්ගේ මට්ටමට දියුණු වුණොත් අපිට ගාල්ලේ තරග පහසුවෙන්ම දිනන්න පුළුවන්” යයි ධනංජය වැඩිදුරටත් කීවේය. 

අද නිමාවූ තරගයේදී වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර දෙදෙනාම එක්ව ඉනිම දෙකේදීම යැවූයේ ඕවර 23 කි. එහෙත් ධනංජය ද සිල්වා ඕවර 19 ක් තනිවම යවමින් කඩුලු 3 ක් ද දවාගත්තේය. මේ වන විටත් ටෙස්ට් කඩුලු 39 ක සහ එක්දින කඩුලු 44 ක හිමිකරුවකු වන ධනංජය සිය පන්දු යැවීම සම්බන්ධයෙන් තවදුරටත් උනන්දු වන්නේ නම් නිසැක වශයෙන්ම එය කණ්ඩායමේ හිත සුව පිණිස වනු ඇත. 
“මගේ ලොකු අදහසක් තිබ්බේ නෑ පන්දු යවන්න. රමේෂ් තමයි අපේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නා. ඒ නිසා මම එයාට අවස්ථාව දීලා බැලුවා”

“එයා වරින් වර හොඳින් පන්දු යැව්වත් මම බලාපොරොත්තු වුණ විදිහට එයා පන්දු යැව්වේ නෑ. ඒ හින්දා තමයි මට පන්දුව අතට ගන්න වුණේ.. මොකද මම දන්නවා මට මොනවද කරන්න පුළුවන්,.. මගේ හැකියාව මොකක්ද කියන එක. ඒ අනුවයි මම ක්‍රීඩා කරන්නේ.” යයි ධනංජය කීවේය. 

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාස පොත පෙරළා බලන අයකුට තනි වේග පන්දු යවන්නකුගෙන් තරග කළ අවස්ථා කිහිපයක්ම හමුවනු ඇත. මේ න්‍යායට වසර 30 කට වැඩි ඉතිහාසයක් ද තිබේ. එහි මුල්ම අවස්ථාව වාර්තා වන්නේ 1992 දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. පිටියේදී පැවැති තරගයයි.

අනෙක් අතට අද නිමාවූ තරගයේදී පසුපෙළ පිතිකරුවන්ගෙන් සෑහෙන තරම දායකත්වයක් ද නොතිබිණ. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය ඊළඟට යොමුවන්නේ පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් ඕවර කිහිපයක් යැවිය හැකි පිතිකරුවකු වෙතය. 

එවන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වන විටත් ශ්‍රී ලංකීය ක්‍රිකට් පිටියේ සැරිසරමින් සිටිති. 


අදහස් (0)

ශ්‍රී ලාංකික දැවැන්තයකුගේ වටිනාකම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.