
(දමින්ද විජේසූරිය)
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට 19 න් පහළ ක්‍රීඩිකාවෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති. මෙම යොවුන් ක්‍රීඩිකාවන් 6 දෙනාම පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවති ශ්‍රී ලංකා - එංගලන්ත - ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම් අතර පැවැති තුන්කොන් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවෝ වෙති.
ඕස්ට්‍රේලියාවේදී පැවැති තුන්කොන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම එහිදී සහභාගි වූ විස්සයි-20 තරගාවලියේ තරග සියල්ලම ජයගනිමින් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට මෙන්ම ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමටත් සම්පූර්ණ සුද්දයක් දුන්නේය. ශූරතාවක් පිරිනොනැමුණ නමුත් එංගලන්ත යොවුන් කාන්තා පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකම ජයගත් චමෝදි ප්‍රබෝධාගේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකත් ජයගත්තේය.
මෙම කණ්ඩායම නියෝජනය කළ නායිකා චමුදි ප්‍රබෝධා, සංජනා කාවින්දි, විමෝක්‍ෂා බාලසූරිය, ප්‍රමුදි මෙත්සරා, ශශිනි ගිම්හානි සහ අසේනි තලගුණේ යන හය දෙනාම ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටිති. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වූ යොවුන් ක්‍රීඩිකාවන් අතුරින් ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව නැත.
ලිමන්සාගේ අඩුව පුරවන්නට මෙන්, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ දියණියක වන විතිනි ද අල්විස් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලු රකින්නකු වූ ගයි ද අල්විස් මහතාගේ සහ ශ්‍රී ලංකා කාන්තා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායිකාව වන රසාංජලී ද අල්විස්ගේ දියණිය වන 24 හැවිරිදි විතිනි ද අල්විස් ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් කාන්තා කණ්ඩායම නියෝජනය කරන්නීය. කෙටි ඕවර තරග වලදී (දහයයි-10 සහ විස්සයි-20) ආරම්භක පිතිකාරිණියක් ලෙසින් ඇය දක්වන දස්කම් මත විතිනි ද අල්විස් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට කැඳවා තිබේ.
විතිනි ද ඇගේ පියා මෙන්ම කඩුලු රකින්නියකි. කෙසේ වෙතත් තවත් කඩුලු රකින්නියන් දෙදෙනකු වන සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා ද කණ්ඩායමේ සිටින බැවින් කඩුලු රැකීම සඳහා අවස්ථාවක් විතිනිට ලැබේවිද යන්න බලා සිටිය යුතුව තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙසින් සත්‍යා සන්දීපනී තවදුරටත් කටයුතු කරන අතර සත්‍යා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකට සහභාගි වී සිටින්නීය. විශ්මි ගුණරත්න මෙම සංචිතයට ඇතුළත් කර ඇත්තේ තවසති තුනකින් පමණ ආරම්භ වන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර තරග පුහුණුව ලබාදීමේ අටියෙනි.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර විස්සයි-20 තරගාවලිය හෙට (21 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලියේ ඉතිරි තරග දෙක මේ මස 23 සහ 25 දිනවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතය
සත්‍යා සන්දීපනී (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්‍ෂා බාලසූරිය, විතිනි ද අල්විස්, විශ්මි ගුණරත්න, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා, රශ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, ප්‍රමුදි මෙත්සරා, සචිනි නිසංසලා, ශශිනි ගිම්හානි, අසේනි තලගුණේ, චමුදි ප්‍රබෝධා, රන්දි ප්‍රේමරත්න, සතීෂ්කුමාර් සජින්තනී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.