Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තාවන්ට වාසිදායක පසුබිමක්
කාන්තා ලෝක කුසලාන - 2025

ශ්‍රී ලංකා කාන්තාවන්ට වාසිදායක පසුබිමක්

editorial - 2025 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී පැවැත්වෙන පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් හෙට (30 වැනිදා) පිටියට පිවිසෙති. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ක්‍රීඩිකාවන් 3 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේත් සිටින බැවින් කණ්ඩායම් දෙක අතර පවතින පරතරය පිළිබඳ දළ වැටහීමක් ලබාගත හැකිය. 

එහෙත් කණ්ඩායම් දෙක අතර පරතරයේ වඩාත් ගැඹුරු පැත්ත වන්නේ ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින ඉන්දීය කාන්තාවන් ප්‍රසාද ලකුණු 126 කට හිමිකම් කියද්දී ශ්‍රී ලංකා කාන්තාවන් සතුවන්නේ ප්‍රසාද ලකුණු 82 ක් පමණක් වීමයි. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතුව පළපුරුද්ද, අත්දැකීම් මෙන්ම ඕනෑම අවස්ථාවකදී ඇතිවන අභියෝගයකට මුහුණ දිය හැකි ක්‍රීඩිකාවන් පිරිසක් සිටිති.  අඩුවකට ඇත්තේ ඔවුන් ජයගත් තරග සංඛ්‍යාවේදී පමණි. 1997  සිට මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 198 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා කාන්තාවෝ ඒවායින් තරග 67 ක් ජයගෙන ඇති අතර තරග 122 ක් පරජය වී තිබේ. 

වසරක පමණ කාලයක් ඇතුළත, ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් වරට සහභාගි වූ එක්දින තරග 10 න් ජයගෙන ඇත්තේ තරග 3 කි. 

සීමිත ඕවර ක්‍රිකට් යනු බෙහෙවින් අවිනිශ්චිත ක්‍රීඩාවක් වන බැවින්, තරගය පැවැත්වෙන දිනයේ එක් එක් ක්‍රීඩිකාවන් දක්වන දස්කම් මත තරගයේ ජය පරාජය රැඳී තිබෙන බවට කිසිවකුට තර්ක කළ හැකිය. එහෙත් ඉන්දීය කාන්තා කණ්ඩායම නම් වෘත්තීය මට්ටමට ඉතාමත් ආසන්යෙන් සිටින කණ්ඩායමකි. තරගාවලියේ සත්කාරකයන් වන්නේද ඉන්දියාව වන බැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් වන ඕස්ටේ්‍රලියාවට (ප්‍රසාද ලකුණු 164) මෙන්ම එංගලන්තයටත් (ප්‍රසාද ලකුණු 126) අභියෝග කිරීම ඉන්දීය ක්‍රීිඩිකාවන්ගේ අභිප්‍රායයි. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නම් මෙවර තරගාවලිය ඉබ්බා දියේ දැමීමකි. 

ඉන්දු - පාකිස්තානු දේශපාලන අර්බුදය නොවන්නට, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවන්නේ ඔවුන්ගේ සියලුම තරග වලට ඉන්දියාවේදී සහභාගි වීමටය. එහෙත් පාකිස්තානු ක්‍රීඩිකාවන් ඉන්දියාවට නොයාමත්, කෙසේ හෝ ලෝක කුසලාන තරගාවලිය පැවැත්විය යුතු වීමත් නිසා පාකිස්තානු කාන්තා කණ්ඩායමේ මූලික වටයේ තරග 7 ම පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබිණ. ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග 7 න් තරග 5 ක් ද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අනුමැතිය ලැබිණ. 

එබැවින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලිය නිල නොවන සත්කාරයකි. 
ඇරත් මෙම තරග 5 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් ක්‍රීඩාංගණ තත්ත්වයන් පිළිබඳ වැටහීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිල සතුවන්නේ අතිරේක වාසියකි. 

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ තුන්වැනි ලෝක කුසලාන තරගාවලිය මෙයයි. චමරි මෙන්ම ශ්‍රී ලංකා පිලේ සිටින ප්‍රධානතම පිතිකාරිණියන් වන අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි සහ නිලක්‍ෂිකා ද සිල්වාත් පන්දු යවන්නියන් වන අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනීත් පළපුරුදු ක්‍රීඩිකාවෝ වෙති. විශ්මි ගුණරත්න තවමත් 20 හැවිරිදි වුවද, ඇය අන්තර්ජාතික තරග 75 කට සහභාගි වූ පළපුරුදු ක්‍රීඩිකාවකි. 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවන්ට වාසිදායක පසුබිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.