Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිතා කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිතා කරලා

editorial - 2023 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාවේදී පසුගිය ඔක්තෝබරයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි මුදල් අවභාවිතා කර ඇතැයි, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාවෙන් කියැවේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටු සාමාජිකයෝ යථෝක්ත කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කළහ.

විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් යන මහත්වරු මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයෝ වූහ.

මෙම විමර්ශන කමිටු වාර්තාව පසුගිය අඟහරුවාදා (10 වැනිදා) කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා වෙත බාර දෙන ලදි. එම අවස්ථාවට විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයෝත් සහභාගි වූහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 16 දෙනාගේ වියදම් අවම මට්ටමකින් තබාගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට දැනුම් දී තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් මුදල් අවභාවිතා කර ඇති බව විමර්ශන කමිටු වාර්තාවෙන් කියැවේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත කණ්ඩායමේ ගුවන් ප්‍රවේශපත් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි දෙක හමාරක් (2,56, 87,498 ක්) වැය වී තිබේ. ජෙරොම් ජයරත්න මහතාගේ වියදම හැර අනිකුත් වියදම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවූ (1,07,800 ක්) හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි හතරකට ආසන්න (3,95,62,000 ක්) මුදලක් වැයවී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් විමර්ශන කමිටුවට දැනුම් දී තිබේ.

මෙම මූල්‍ය තොරතුරු ‘වයි’ ඇමුණුම ලෙසින් නම්කරනු ලැබ තිබේ.
“ඉහත කී ‘වයි’ ඇමුණුම බැලූ බැල්මටම අසත්‍ය වාර්තාවක් වන බවටත්, (හේතු සඳහා නිරීක්‍ෂණ බලන්න) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින්, ආයතනයේ අරමුදල් අවභාවිතා කර ඇති අන්දම මෙම මණ්ඩලයට වසන් කිරීම පිණිස සකසන ලද ලේඛනයක් පමණක් වන බවටත් පෙනෙන හෙයින්ද” යනුවෙන් විමර්ශන වාර්තාවේ 47 වැනි පිටුවේ සටහන් වී තිබේ.

“භාණ්ඩාගාරික, ලසන්ත වික්‍රමසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වැයකළ යුතු ආකාරය සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් පවතින බවටත්, වාර්ෂික ඇස්තමේන්තුවක් සකසා එම අයවැය ලේඛනයට අනුව වියදම් කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්ට විදේශ සංචාර සඳහා වියදම් කළ යුතු ප්‍රමාණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වියදම් කළ යුතු ප්‍රමාණය දක්වා ඇති බවටත්, 2022 වර්ෂය සඳහා එලෙස අයවැය ලේඛනයක් තිබෙන බවටත්, එය 2022-12-13 වන දින මෙම කමිටුවට ලබාදිය හැකි බවටත් දන්වා සිටිය මුත්, එම ලේඛනය ප්‍රමාද වී හෝ සැපයීමට ඔහු අපොහොසත් වී ඇති හෙයින්ද....,”

“ගුවන් ගමන් බලපත්‍ර ලබා ගත්තේ ලියාපදිංචි ටිකට්පත් අළෙවි ආයතන වලින්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් බවටද, එම ලේඛන ඉදිරිපත් කළ හැකි බවටද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් බොහෝ දෙනෙක් ව්‍යාපාරික පංතියේ ගමන්ගත් බවටද සභාපතිවරයා පැවසූවත්, ඉහත කී ‘වයි’ ඇමුණුමට අනුව එක් එක් ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර සඳහා විවිධ වියදම් දක්වා ඇති හෙයින්, එසේ විවිධ මිලගණන් වලට ප්‍රවේශපත්‍ර ගත්තේ මන්දැයි යන ප්‍රශ්නය මතුවන හෙයින්ද....,”.

“ඕස්ට්‍රේලියාවේදී පැවැති 2022 අයි.සී.සී. ටී.20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලියට උපහාර පිදීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී 2022-10-11 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුදානම් කර තිබූ නිල උත්සවය සඳහා පිළියෙල කළ රාත්‍රි භෝජන සංග්‍රහයේදි ‘ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත’ වශයෙන් හැඳින්වූ මලික් සවීර් යන අය විසින් ප්‍රවේශපත්‍ර අළෙවි කිරීමක් සිදුකර තිබුණ මුත් ඉන් ලැබුණු ආදායම් සම්බන්ධයෙන් වූ ගිණුම්, එකී මලික් සවීර් විසින් මෙතෙක් ලබා දී නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ලබා දුන් සාක්ෂි මගින් කරුණු අනාවරණය වන හෙයින්ද” යනුවෙන් විමර්ශන වාර්තාවේ 48 සහ 49 වැනි පිටුවල සටහන් වී තිබේ.


විමර්ශන කමිටු වාර්තාවේ, 50 සහ 51 පිටුවල සටහන් ප්‍රධාන නිර්දේශ 5 කි.

I. 2022 ලෝක කුසලාන තරග සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් කිරීම

II. එසේ විගණනය කිරීමට පෙර සිදුකිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් වෙනස් කිරීමට හෝ සැඟවීම වලක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම

III. අනතුරුව ඉදිරිපත් කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය, යනාදී චෝදනා/චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මගින් කටයුතු කිරීම

IV. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති වලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියාකළ හැකිය.

V. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිතා  කිරීම/දූෂණ වළක්වාලීමටත්, ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධවිධාන වලට අනුකූලව කටයුතු කිරීම.


1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඇ) වන වගන්ති පහත පරිදි වෙයි

32 (අ)    සංගමයේ නිලධාරීන්ගේ හෝ සාමාජිකයන්ගේ දූෂණ, විෂමාචාරතා හෝ අක්‍රමිකතා යමක් සඳහා ප්‍රතිකර්ම යොදන ලෙස අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබූ විට, ඒ නිවේදනයේ සඳහන්ව තිබිය හැකි කාලය තුළදී එසේ ප්‍රතිකර්ම යෙදීමට අපොහොසත් වීම හෝ ප්‍රතිකර්ම යෙදීම නොසළකා හැරීම නිසා හෝ,
  (ආ)    අමාත්‍යංශයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා අකර්මන්‍යව සිටීම සහ සහයෝගය නොදීම හෝ අවහිර කිරීම නිසා හෝ
  (ඇ)    සංගමයේ යුතුකම් හා කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම නිසා
ජාතික ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම ප්‍රතිශක්ති කිරීම හෝ එහි ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම අමාත්‍යවරයාට සිදුකළ හැකි බවටද නිර්දේශ කරමු.

මෙම මූල්‍ය අවභාවිතා කිරීමට අමතරව ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේ හෝටල් කාමරයක් තුළ පහනක් දැල්වීම සම්බන්ධයෙන්ද ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන අනිසි බලපෑම් සම්බන්ධයෙන්ද විමර්ශන කමිටුව විසින් පරීක්‍ෂණ කටයුතු කරනු ලැබිණ. එම කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන නිර්දේශ 4 කි.


■    ධනිෂ්ක ගුණතිලක මෙම චෝදනාවට ලක්වූයේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමන් සිටියදී වන බැවින් එහි අපකීර්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම සමස්ත ශ්‍රී ලංකාව හරහාත් යන බැවින්, අදාළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට දෙන දඬුවම, සියලුම ක්‍රීඩකයන්ට විනයගරුක වීමේ සහ සවයං පාලනයේ වැදගත්කම ලබාදෙන දඬුවමක් විය යුතුය.

■    චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේදී නවාතැන් ගත් හෝටලයේදී පහනක් දැල්වීම සහ පුද්ගලයකු සමග ආරවුල් ඇතිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් දඬුවම් නියම කර ඇති බැවින්, තවදුරටත් ඔහුට දඬුවම් නොදිය යුතුය.

■    ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදු වී ඇත් ද යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැක. එසේ වුවද, ‘බෝන් අගේන්’ ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්‍ෂණය වන හෙයින්, ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම

■    ශ්‍රී ලංකාවට ජයක් අත්පත් කරදීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් බුදුරජාණන් වහන්සේගෙන් සහ විවිධ දෙවියන් වහන්සේලාගෙන් පිහිට පතන බව පෙනී යන හෙයින්, ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩකයන් පිටත්ව යාමට පෙර, මීට පෙර වසර ගණනාවක් අනුගමනය කළ ආගමික වතාවත් නැවතත් ඇතිකරමින්, අප රටේ සුදුසු බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් සහ/හෝ ආගමික පූජකතුමන්ලා සහභාගි කරවාගෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කිරීමේ ක්‍රියාවලියක් නැවත ආරම්භ කිරීම.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිතා කරලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.