යොවුන් ලෝක කුසලාන - 2026
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දින්සර
(දමින්ද විජේසූරිය)
තවත් දෙසතියකින් ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට පවරා තිබේ. යොවුන් එක්දින තරග 10 කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී සිටින විමත් දින්සර, බලාපොරොත්තු තැබිය හැකි ඉදිරිපෙළ පිතිකරුවකු වන අතර අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජය ද නියෝජනය කරන්නෙකි.
කණ්ඩායමේ උප නායකයා ලෙසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කවිජ ගමගේ පත්කර තිබේ. කවිජ අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේදී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද නියෝජනය කරන්නෙකි.
මේ මස 15 වැනිදා සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් තරග වදී. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 16 කි. ඕස්ටේ්‍රලියාව, ජපානය සහ අයර්ලන්තය ‘සී’ කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වෙති.
මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 ක් දෙවැනි වටයට තෝරා ගැනේ. දෙවැනි වටයේ කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර දෙවැනි වටයේදී ප්‍රසද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
මූලික වටයේ තරග කාල සටහන අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 17 වැනිදා (ජපානයට එරෙහිව), 19 වැනිදා (අයර්ලන්තයට එරෙහිව) සහ 23 වැනිදා (ඕස්ටේ්‍රලියාවට එරෙහිව) තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම :
■ විමත් දින්සර (නායකයා - කොළඹ රාජකීය විද්‍යාලය),
■ කවිජ ගමගේ (උප නායකයා - කිංග්ස්වුඩ් විද්‍යාලය)
■ දිමන්ත මහවිතාන (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
■ විරාන් චමුදිත (මාතර ශාන්න ශර්වේෂස් විද්‍යාලය)
■ දුල්නිත් සිගේරා (කොළඹ මහානාම විද්‍යාලය)
■ චාමික හීනටිගල (කොළඹ මහානාම විද්‍යාලය)
■ ඇඩම් හිල්මි (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
■ චමරිඳු නෙත්සර (මාතර ශාන්ත ශර්වේෂස් විද්‍යාලය)
■ සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
■ කුගදාස් මාතුලන් (යාපනව ශාන්ත ජෝන් විද්‍යාලය)
■ රසිත් නිම්සර (වත්තල ලයිසියම් විද්‍යාලය)
■ විග්නේශ්වරන් ආකාෂ් (මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය)
■ ජීවන්ත ශ්‍රීරාම් (කොළඹ වෙස්ලි විද්‍යාලය),
■ සෙණුජ වැකුණගොඩ (මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය)
■ මලින්ත සිල්වා (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය)