Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ග්‍රහණය දැඩි කරයි

ශ්‍රී ලංකාව ග්‍රහණය දැඩි කරයි

editorial - 2021 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)


පැතුම් නිස්සංක වසර 20 කට පසුව මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා විය. නිරෝෂන් දික්වැල්ල පස්වැනි වතාවටත් මංගල ටෙස්ට් ශතකය අහිමි කරගත්තේය. එහෙත් මේ දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 374 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. 

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ බදාදා (24 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 476 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වාසිදායක තත්ත්වය අත්කර ගත්තේය. 

තරගය ජයගැනීමට නම් කොදෙව් පිල සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ක් ලබාගත යුතුව තිබේ. එහෙත් බදාදා සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 34 ක් ඇතුළත කොදෙව් පිලේ කඩුල්ලක් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ග්‍රහණය ක්‍රම ක්‍රමයෙන් දැඩි කරමින් සිටියේය. 

මුල් ඉනිමේදී ලකුණු 169 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කරමින් දෙවැනි ඉනිමේදී ලකුණු 476 ක් ලබාගත්තේ ලකුණු 102 ක මුල් ඉනිමේ අවාසියක පීඩනයටත් මුහුණ දෙමිනි. කෙසේ වෙතත් බදාදා සවස පැවැති තත්ත්වය අනුව තරගය ජයගැනීමට නම් කොදෙව් පිල තවත් ලකුණු 341 ක් ලබාගත යුතුවන අතර ටෙස්ට් තරගයක පස්වැනි දිනයේදී එය එතරම් පහසු ඉලක්කයක් නොවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා හමුවේ එය අභියෝගාත්මකය. නමුත් කොදෙව් පිලේ වත්මන් තරග ප්‍රතිපත්තිය අනුව ඔවුන් මෙම ඉලක්කය කරා යාමට උත්සාහ කිරීමත් බැහැර කළ හැක්කක් නොවේ. 

කඩුලු 4 කට ලකුණු 255 ක් ලබා සිටියදී සිව්වැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට උදෑසනින්ම ධනංජය ද සිල්වා අහිමි විය. එහෙත් ආපසු හැරී නොබැලූ දික්වැල්ල සහ පැතුම් නිස්සංක දෙදෙනා දිවා ආහාරයට පෙර ලකුණු 104 ක් ද තේ පානයට පෙර තවත් ලකුණු 76 ක් ද එකතු කළහ. තේ පානයට පෙර නිස්සංක සිය ශතකය සම්පූර්ණ කළේ තිලාන් සමරවීරට පසුව මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා වෙමිනි. 

වසර 39 ක ටෙස්ට් ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේදීම ශතක ලබාගත්තෝ සිව් දෙනෙකි. බ්‍රෙන්ඩන් කුරුප්පු (1987 දී නවසීලන්තයට එරෙහිව), රොමේෂ් කළුවිතාරණ (1992 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව), තිලාන් සමරවීර (2001 දී ඉන්දියාවට එරෙහිව) සහ පැතුම් නිස්සංක මෙම සුවිශේෂී සමාජයට එක්වූ පිතිකරුවෝ වෙති. 

කොදෙව් ක්‍රීඩකයන්ගේ අලස පන්දු රැකීමත්, දුර්වල විනිසුරු තීරණ විමසීමත් මනාව ප්‍රයෝජන ගත් දික්වැල්ල සහ නිස්සංක දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 176 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙම සම්බන්ධතාව කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සම්බන්ධතාවද වෙයි. එපමණක් නොව, මෙම තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැති දෙවැනි ශතක සම්බන්ධතාවද එයයි. 

පෙරවරුවේදීම දෙවැනි නව පන්දුව ලබාගත් කොදෙව්වෝ සැලසුමක් නැති, හිතුවක්කාර පන්දු යැවීමක යෙදුණහ. තත්ත්වය වාසියට හරවාගත් නිස්සංක සහ දික්වැල්ල දෙදෙනා තම තමන්ට රිසි සේ ලකුණු ලබාගත්තේ ඕවරයකදී ලකුණු 4 කට වැඩි වේගයක් රඳවා ගනිමිනි. නිස්සංක තරමක් තැන්පත් ලීලාවෙන් ලකුණු කරා යද්දී දික්වැල්ල සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය දියත් කළේය. ඇතැම් අවස්ථාවලදී ඔහු වේග පන්දු යවන ෂැනන් ගේබි්‍රයෙල් හමුවේ පැඩ්ල් ස්වීප් පහර කරාත් යොමු වූයේ පන්දු යවන්නා තඹයකට මායිම් නොකරමිනි.

මෙම සම්බන්ධතාව බිඳ දැමීමේ අධික උත්සාහය නිසා කොදෙව්වෝ තමන්ගේ විතීවි අවස්ථා දෙකම නිකරුණේ නාස්තිකර ගත්හ. දික්වැල්ල ලකුණු 29 ක් ලබා සිටියදී කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලැබුණේ යයි කළ ඉල්ලීම විතීවි හමුවේ නිෂ්ප්‍රභා විය. දිවා ආහාරයෙන් පසුව කෙමර් රෝච්ගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක කඩුල්ල ආවරණය කළේ යයි කළ ඉල්ලීමද විතීවි වෙත යොමු කරන ලද නමුත් ඒ අවස්ථාවේදී පන්දුව පිත්තේ වැදුණු බව රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් පැහැදිළි විය. 

දික්වැල්ල ලකුණු 74 ක් ලබා සිටියදී අල්සාරි ජෝෂප්ගේ පන්දුවකට ගැසූ ෆ්ලික් පහරක් වැරදී ගිය අතර රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් පෙන්නුම් කෙරුණේ පන්දුව කඩුලු රකින්නා වෙත යාමට පෙර දික්වැල්ලගේ පිත්තේ යන්තමින් ගෑවී ගිය බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ එතරම් උනන්දු නොවූහ. ඇරත් එම අවස්ථාවේදී යොදා ගැනීමට කොදෙව් පිලට විතීවි අවස්ථා ද ඉතිරි වී නොතිබිණ.

කෙසේ වෙතත් බදාදා දිනය සම්පූර්ණයෙන්ම පාහේ ගාල්ලේ කොල්ලාට බර වී තිබිණ. තවමත් 22 හැවිරිදි පැතුම් නිස්සංක මෙම සංචාරය සඳහා තෝරා ගැනුණේ දේශීය තරගාවලියේදී ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි පැතුම් නිස්සංක, පළමු පෙළ තරග 33 කදී ලකුණු 65.37 ක සාමාන්‍යයක් රඳවාගත් ක්‍රීඩකයෙකි. පන්දු 240 කට මුහුණ දුන් නිස්සංක තේ පානයට පෙර යැවුණු අවසන් ඕවරයේදී සිය ශතකය ලබාගත් නමුත් වැඩි දැඟලීමක් නොකර එහි සතුට සැමරුවේය. සැබෑ ටෙස්ට් පිතිකරුවකු ලෙසින්, ඉවසිලිවන්තව තම ඉනිම ගොඩනැංවූ ඔහුගේ ලකුණු 103 න් 79 ක් පැමිණියේ තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලෙසිනි. ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 6 ක් පමණි. 

තේ පානය වන විට කොදෙව් පිලට වඩා ලකුණු 333 ක් ඉදිරියෙන් සිටි නමුත් තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීම ඉක්මන් කෙරිණ. ස්ලොග් ස්වීප් පහරක් ගැසීමට යාමෙන් නිස්සංක දැවී ගිය අතර ශතකයට අත පොවන මායිමේදී නිරෝෂන් දික්වැල්ල විසින් කෙමර් රෝච්ගේ පන්දුවක් කඩුල්ල වෙත ඇදගත්තේය. සුරංග ලක්මාල් දුවද්දී දැවී ගිය අතර අවසන් කඩුලු පහම ලකුණු 38 ක් තුළ ඇද වැටිණ.

ටෙස්ට් තරග 42 කට සහභාගි වී ඇති නමුත් තවමත් ශතකයක් ලබා නැති දික්වැල්ල මාස දෙකක් ඇතුළත ලකුණු 90 පසුකිරීමෙන් පසුව දැවී ගිය දෙවැනි අවස්ථාව මෙයයි. මීට ඉහත සිව් වතාවක්ම ලකුණු 80 පසුකර ඇති නමුත් ටෙස්ට් ශතකයක් ලබාගැනීමට දික්වැල්ලට නොහැකි වී ඇත. 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 169 
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 271 යි
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
ළහිරු තිරිමාන්න - ප.රෝච් 76
දිමුත් කරුණාරත්න - ඇ.කැම්බල් ප.රෝච් 3
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ජොෂුවා ද සිල්වා ප.මේයර්ස් 91
දිනේෂ් චන්දිමාල්  - ඇ.ජොෂුවා ද සිල්වා ප.මේයර්ස් 4
ධනංජය ද සිල්වා - ප.ජෝෂප්  50
පැතුම් නිස්සංක - ඇ.රෝච් ප.කොන්වෝල්  103
නිරෝෂන් දික්වැල්ල - ප.රෝච් 96
සුරංග ලක්මාල්  - දුවද්දී දැවී ගියා 8
දුෂ්මන්ත චමීර - ඇ.මේයර්ස් ප.කොන්වෝල් 6
ලසිත් ඇඹුල්දෙණිය - ඇ.හෝල්ඩර් ප.කොන්වෝල් 10
විශ්ව ප්‍රනාන්දු - නොදැවී  0
අතිරේක - 29
එකතුව ඕවර 149.5 කදී සියලු දෙනා දැවී  476
කඩුලු වැටීම :   
1-08(දිමුත් කරුණාරත්න), 2-170(ඕෂධ ප්‍රනාන්දු), 3-178(දිනේෂ් චන්දිමාල්), 4-189(ළහිරු තිරිමාන්න), 5-259(ධනංජය ද සිල්වා), 6-438(පැතුම් නිස්සංක), 7-460(නිරෝෂන් දික්වැල්ල), 8-462 (සුරංග ලක්මාල්), 9-476(ලසිත් ඇඹුල්දෙණිය)10-476(දුෂ්මන්ත චමීර)
පන්දු යැවීම:   
කෙමර් රෝච් : 27-3-74-3, ෂැනන් ගේබි්‍රයෙල් : 18-2-67-0, ජේසන් හෝල්ඩර් : 22-4-40-0, අල්සාරි ජෝෂප් : 21-2-83-1, රකීම් කෝන්වෝල් : 42.5-4-137-3, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් : 9-1-30-0 කයිල් මේයර්ස් : 9-2-24-2, ජර්මේන් බ්ලැක්වුඩ් : 1-0-03-0
   
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම   
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - නොදැවී  8
ජෝන් කැම්බෙල් - ඇ.දික්වැල්ල ප.විශ්ව ප්‍රනාන්දු  11
නිකෲමා බෝනර් - නොදැවී 15
අතිරේක 0
එකතුව ඕවර 20 කදී කඩුල්ලක් දැවී  34
කඩුලු වැටීම :   
1-12 (ජෝන් කැම්බෙල්),   
පන්දු යැවීම :   
සුරංග ලක්මාල් : 7-4-04-0, විශ්ව ප්‍රනාන්දු : 6-0-21-1, ලසිත් ඇඹුල්දෙණිය : 4-2-05-0, දුෂ්මන්ත චමීර : 2-1-04-0, ධනංජය ද සිල්වා : 1-1-00-0

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ග්‍රහණය දැඩි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.