Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(ශානුක අරවින්ද)
අවිෂ්ක ප්‍රනාන්දුගේ සහ නායක දසුන් ශානකගේ ප්‍රවේගකාරී පිතිහරඹයත්, වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් නිසා ඕමානයට එරෙහිව අල් අමරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ඕමාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 143 කට සීමා කිරීමට ළහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ඕමාන කණ්ඩායමේ මුල් පිළ සුනුවිසුණු කර දැමූ ළහිරු සහ නුවන් ප්‍රදීප් ලකුණු 23 ක් ඇතුළත පිතිකරුවන් සිවු දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූහ. 

ළහිරු සහ නුවන් ප්‍රදීප් දෙදෙනාට චාමික කරුණාරත්නත් එක්වීම නිසා ඕමාන කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 87 කට කඩුලු 6 ක් ලෙසින් දිස්විය. එහෙත් මොහොමඩ් නදීම් (32) සමග එක්වූ නසීම් කුෂී (40) පන්දු 26 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕමාන කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් ළහිරු කුමාර විසින් යවන ලද 19 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී නදීම් පිටියෙන් ඉවතව යෑමත් සමග ඕමාන කණ්ඩායමේ සියලු බර කුෂී මතට පැටවිණ. 

වේගවත් පිතිහරඹයක නිතර වෙමින් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක් රැස්කළද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට කුෂී අසමත් විය. චාමික කරුණාරත්න යෑවූ අවසන් ඕවරයේදී තරගය ජයගැනීම සඳහා ඕමාන කණ්ඩායමට ලකුණු 30 ක් රැස්කිරීමට සිදුවුවද, අවසන් පන්දුවේදී දැවී ගිය කූෂීට සහ කලීමුල්ලාට එම ඕවරයෙන්  රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු භූමිකාවෙන් ඉවත්ව මැද පෙළ පිතිකරුවකු ලෙස මෙම තරගයට එක්වූ අවිෂ්ක, මුල් ලකුණු 30 ලබාගන්නා තෙක් තරමක් මන්දගාමීව ලකුණු රැස්කළේය. එහෙත් 13 වැනි ඕවරයේදී සිය ප්‍රහාරය ආරම්භ කළ ඔහු, ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 83 ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අවිෂ්කට අනගි සහායක් දුන් නායක දසුන් ශානක, ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ඕමාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් පන්දු 24 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 111 කි. 

ඕවර 2 කදී ලකුණු 07 කට කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරුතාවකට පත් විය. ලකුණු පුවරුවට තවත් ලකුණු 14 ක් එක්වන විට පැතුම් නිස්සංකද (8) පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි. පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට වැඩි වේලවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර පන්දු 21 කට පසුව ඔහු දැවී යන විට භානුක ලබා සිටියේ ලකුණු 15 ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිමේ අඩක් නිමා වූවද පුවරුවේ තිබුණේ ලකුණු 49 කි. එහෙත් 14 වැනි ඕවරයේදී ප්‍රහාරය ආරම්භ කළ අවිශ්ක සහ දසුන් ශානක දෙදෙනා මාස 7 කට පසුව ශ්‍රී ලංකා පිල ලකුණු 160 ඉම පසුකරමින් තල්ලු කරගෙන ගියහ. 

 

ලකුණු පුවරුව 
ශ්‍රී ලංකාව 

පැතුම් නිස්සක - ඇ.මක්සූද් ප.කලීමුල්ලා  8
දිනේෂ් චන්දිමාල් - ඇ.නසීම් ප.බට්  0
කමිඳු මෙන්ඩිස් - ක.මු. කළා ප.බට් 0
අවිෂ්ක ප්‍රනාන්දු - නොදැවී  83
භානුක රාජපක්ෂ - ඇ.සන්දීප් ප.අලී  15
දසුන් ශානක - නොදැවී  51
අතිරේක  5
එකතුව ඕවර 20 කදී කඩුලු 4 කට   162 

කඩුලු වැටීම : 
1-07(චන්දිමාල්), 2-07(කමිඳු), 3-21(පැතුම්), 4-51(භානුක) 

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
චාමික කරුණාරත්න, මහේෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ අකිල ධනංජය 

පන්දු යැවීම :
කලීමුල්ලා 4-0-18-1, ෆයාස් බට් 4-0-42-2, සීෂාන් මක්සූද් 3-0-22-0, මොහොමඩ් නදීම් 4-0-42-0, අකීබ් ඉලියාස් 2-0-17-0, ඛාවර් අලී 3-0-18-1 

ඕමානය 
කාශ්‍යප් ප්‍රජාපති - ඇ.චන්දිමාල් ප.ප්‍රදීප්  0
ජිතින්දර් සිං - ඇ.චන්දිමාල් ප.ළහිරු 7
අකීබ් ඉලියාස් - ඇ.කුමාර ප.ප්‍රදීප් 3
සීෂාන් මක්සූද් - ඇ.ධනංජය ප.ළහිරු 9
මොහොමඩ් නදීම් - ඇ.චන්දිමාල් ප.ළහිරු 32
අයාන් ඛාන් - ඇ.අවිෂ්ක ප.චාමික  23
සන්දීප් ගෞඩ් - ඇ.චන්දිමාල් ප.ළහිරු 17
නසීම් කුෂී - ඇ.රාජපක්ෂ ප.චාමික 40
කලීමුල්ලා - නොදැවී 1
අතිරේක  11
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී  143

කඩුලු වැටීම : 
1-00(ප්‍රජාපති), 2-10(ඉලියාස්), 3-20(ජිතින්දර්), 4-24(මක්සූද්), 5-54(ඛාන්), 6-87(සන්දීප්), 7-133(නදීම්), 8-143(කුෂී) 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ෆයාස් බට්, ඛාවර් අලී 

පන්දු යැවීම :
නුවන් ප්‍රදීප් 2-0-07-2, ළහිරු කුමාර 4-0-30-4, මහේෂ් තීක්ෂණ 4-0-20-0, චාමික කරුණාතරන්න 4-0-28-2, දසුන් ශානක 4-0-41-0, අකිල ධනංජය 2-0-16-0 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 19 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.