
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

කුසල් මෙන්ඩිස් (61), පවන් රත්නායක (60) සහ දසුන් ශානක (50) තිදෙනාගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය හේතුවෙන් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය පරාජය කරමින් ලකුණු 105 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමගින් ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම +3.125 ක ශුද්ධ ලකුණු වේගයක් ද අත්කර ගත්තේය.
නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් ලබාගත්හ. ඕමාන ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 120 කි.
අද ලබාගත් ලකුණු 225 වාර්තා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ වසර 2007 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යානුවන්ට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී කඩුලු 6 කට ලකුණු 260 ක් ලබාගැනීමයි.
ඕමානය හමුවේ පන්දු 19 කින් සිය අර්ධ ශතකය ලබාගත් දසුන් ශානක, ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි-20 අර්ධ ශතකය ලබාගනිමින්, තමන්ගේම වාර්තාව අලුත් කළේය. පන්දු 19 කින් දසුන් ලබාගත් අර්ධ ශතකය දැවැන්ත හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
කුසල් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දු දෙකම හතරේ සීමාවට යවද්දී පවන් රත්නායක මුහුණ දුන් පළමු පන්දු තුනෙන් දෙකක් හතරේ සීමාවට යවමින් පන්දු 3 කින් ලකුණු 10 ක් ලබාගත්තේය. දෙදෙනාම සිය ආරම්භයෙන් කියාපෑවේ අද තරගයේදී සාර්ථක ඉනිම දෙකක් කරා යා හැකි බවයි.
ඉනිමේ ප්‍රවේශයේදීම (ඕවර 1-06) කඩුලු දෙකක් දැවී යාමෙන් ශ්්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අපහසුතාව මඟහරවා ගත්තේ කුසල් සහ පවන් දෙදෙනාගේ පහරදීමේ රටාවෙනි. හයේ පහරක් ගැසුවේ පවන් පමණකි. එහෙත් කුසල් සහ පවන් දෙදෙනා එක්ව 15 වතාවක් පන්දුව හතරේ සීමාවට යැවූහ.
දෙදෙනා එක්ව ගොඩනැංවූ ලකුණු 94 ක සම්බන්ධතාව, විස්සයි-20 ලෝක කුසලාන තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩනැංවුණු හොඳම තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ද වෙයි. ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 50 කට පමණි.
කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක අතර පැවැති පන්දු 28 ක සම්බන්ධතාවයෙන් පුවරුවට එක්වූ ලකුණු සංඛ්‍යාව 63 කි. මෙන්ඩිස්ලා දෙදෙනා අතර සිදුවූ සන්නිවේදන සංකූලතාවක් හේතුවෙන් ලකුණු 61 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේය. එහෙත් ඉනිම පුරාම මනා සංයමයකින් යුතුව තම කඩුල්ල රැකගත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවා, හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
ඕමාන ඉනිමේ පළමු ඕවර 6 (ප්‍රවේශය) නිමාවීමටත් පෙර කඩුලු 3 ක් බිඳ වැටුණු අතර මොහොමඩ් නඩීම් (නොදැවී 53) සහ වසිම් අලී (27) දෙදෙනා ඉනිම කඩාවැටීමට නොදී අල්ලාගෙන සිටියහ. එහෙත් මොහොමඩ් වසීම්ගේ දැවී යාමත් සමගින් අනෙක් අන්තයෙන් එක පිට එක කඩුලු බිඳ වැටෙද්දී නඩීම් සිය අර්ධ ශතකය කරා ගියේය.
ලකුණු 31 ක් ඇතුළත පිතිකරුවන් 6 දෙනකු දැවී ගිය හෙයින් අවසානයේදී පිටියේ තනිවූ නඩීම් පහර කිපියක් ගැසීමට උත්සාහ කළ හෙයින් ඕමානයට ලකුණු 120 ක් ලැබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය 16 වැනිදා ඕස්ටේ්‍රලියාවට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.