
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 4 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, ප්‍රසාද ලකුණු පුවරුවේ 4 වැනි ස්ථානයේ සිට 3 වැනි ස්ථානයට පැනගත්හ.
නැමීබියාවේ වින්ඩ්හෝක් නුවරදී අද (26 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ලකුණු 193 කට සීමාකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 3.1 ක් ඉතිරිව තිබියදී, කඩුලු 6 ට ලකුණු 194 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ.
කඩුලු 5 ක් ලකුණු 130 ක් ඇතුළත බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරමක අවදානමකට මුහුණ දුන් නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දුල්නිත් සිගේරා (30) සහ චාමික හීනටිගල (නොදැවී 22) තම කණ්ඩායම මුහුණ දී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ.
40 වැනි ඕවරය නිමා වන විටත් පන්දු 26 කට මුහුණ දී සිටි දුල්නිත් සිගේරා ඒ වන විට ලබා සිටියේ ලකුණු 8 කි. ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රහණය සඳහා ඕවර 10 කින් ලකුණු 42 ක් අවශ්‍ය වී තිබිණ. පීඩනය එන්න එන්නම වැඩිවන බව දැනගත් සිගේරා, අත දිගහැර පහරදීමට පිළිපන්නේය. රූහුල්ලා ඇරබ් යැවූ 41 වැනි ඕවරයේදී ලකුණු 5 ක් උදුරාගත් දකුණත් පිතිකරුවා, ඊළඟ ඕවරයේදී අබ්දුල් අසීස් දරුණු ප්‍රහාරයකට ලක් කරමින් ලකුණු 11 ක් ලබාගත්තේය. 44 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 6 කින් ලකුණු 13 ක් ලෙස වෙනස් වී තිබිණ. එතැන් සිටි තිබුණේ පහසු ගමනකි.
හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත් දුල්නිත් සිගේරා දැවී ගියත්, නොදැවී ලකුණු 22 ක් ලබාගත් චාමික හීනටිගල සිය කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවිම තෝරා ගනිමින් එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේය. ලකුණු 64 කට ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනකු දැවී ගිය හෙයින් ඇෆ්ඝනිස්ථානු යොවුන් කණ්ඩායම අමාරුවේ වැටී සිටියේය.
කෙසේ හෝ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඔස්මන් සාදාත් (61) සහ අසිසුල්ලා මියාකිල් (43) එක්ව කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 140 දක්වා ඉහළ දැමූහ. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනාම ලකුණු 14 ක් ඇතුළත දවාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එතැනින් ඇෆ්ඝනිස්ථානුවන්ගේ ගෙල සිර කළහ.
ඇෆ්ඝනිස්තානු යොවුන් පිලේ අවසන් කඩුලු 6 ම ලකුණු 53 කට දවාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය ප්‍රතිවාදීන් ලකුණු 193 කට සීමා කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය 29 වැනිදා දකුණු අප්‍රිකානු යොවුන් පිලට එරෙහිව පැවැත්වෙයි.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.