
(නාමල් පතිරගේ )
ශ්‍රී ලංකාව හා භූතානය අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජූනි 8 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම වසරට (2026) සංවිධානය කර තිබෙන සුහද ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්වේ.
දෙරටේම එකගතාවය මත තරගය බැංකොක් නුවරදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි. මෙම වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරගය මෙයයි.
දෙරට අතර වසර 2006 සිට මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග හතක් පවත්වා තිබෙන අතර ඉන් පහක්ම ජය ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලන අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මෙන්ම භූතානයද මේ වන විට පියවර කීපයකින්ම ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාව පියවර තුනකින් ඉදිරියට පැමිණෙමින් ඊයේ (20) වන විට පසු වූයේ 191වැනි ස්ථානයේයි. ඒ වන විට 186 වැනි ස්ථානය දක්වා භූතානය ඉදිරියට පැමිණ සිටියේ පියවර හයක් දක්වා පසු කර යමිනි. භූතානය ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් පසුකාළීනව දෙරට අතර පැවැති ජාත්‍යන්තර තරග දෙකක් ජය ගැනීමට සමත්ව තිබේ.
ඒ වසර 2015 තිම්පු නුවරදී පැවැති ලෝක කුසලාන (2018) නිර්දේෂ වටයේදී පළමු වතාවට ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනි.ශ්‍රී ලංකාව අවසන් වරට 2024 කොළඹදී ලෝක තරග මාලාව (2024) යටතේ භූතානය ගෝල 2 - 0 කින් පරාජය කිරීමට සමත්ව තිබේ.
වසර 2025 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග අටකදී හතරක් ජය ගෙන තුනක් පරාජයවී සෙසු තරගය සම කර තිබේ.මෙම වසරේ මාර්තු 31වැනිදා තායිපේ නුවරදී ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරගයේදී චීන - තායිපේට ගෝල 3 - 1 කට පරාජය විය. ආසියානු කුසලාන (2027) නිර්දේෂ වටයේ තරගයකි.
වසර 2024 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාය.වසර 2024 - 26 මේ දක්වා වන කාල සීමාවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග 20 කදී අටක් ජය ගෙන හතරක් සම කර සෙසු තරග හයක් පරාජය වීමෙන් % 60 ක තරග ජයග්රාහණ ප්‍රතිශතයක් පෙන්වීමට සමත්ව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.
එකී කාලය තුළදී ශ්‍රී ලංකාව ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 207 සිට 191 දක්වා වර්ධනයක්ද පෙන්නුම් කර තිබේ.
වසර 2025 සිට මේ දක්වා භූතානය ජාත්‍යන්තර පාපන්දු තරග හතකදී හයක්ම පරාජයවී තිබේ.බෲනායි සමග මෙම වසරේ මාර්තු 31 වැනිදා ගුවාහාටී හිදී පැවැති තරගය පමණක් භූතානය ජය ගෙන ඇත්තේ ගෝල 2 - 1 කටය.
ඒ අතර භූතානය ජූනි 8 වැනිදා ශ්‍රී ලංකාව මුණ ගැසීමට පෙර ජූනි 4 වැනිදා පොන්ම්පෙන් නුවරදී කාම්බෝජය සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වීමට නියමිතය.ඔවුන්ගේ නිත්‍ය පුහුණුකරු චෙන්චූ ඩොජී මහතා ඇතුළු කණ්ඩායමේ සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම භූතාන ජාතිකයෝ වෙති.කණ්ඩායම් නායක 27 හැවිරිදි නිමා වන්ග්ඩී ජාත්‍යන්තර තරග 26 ක අත්දැකීම් හෙබි මැද පෙළ ක්‍රීඩා කරන්නෙකි.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා බැංකොක් තරගයේදීත් එහි නායකත්වය දරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.