
(දමින්ද විජේසූරිය)
මේ මස 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය - පාකිස්තානු ලෝක කුසලාන තරගයට සහභාගි නොවීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්න’යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකරන ලද විද්යුත් ලිපිය සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් කියා සිටියේ ශ්‍රී ලංකාව මෙන්ම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් එවන් අකාරයේ ඉල්ලීමක් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට යවා ඇති බවයි.
“ඔය ඊ-මේල් එක යවලා දැනට දවස් දෙක තුනක් වෙනවා. ඒත් අපට තවමත් ඒ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ කොහොම වුණත්, තව දවස් දෙක තුනකින් අපට නිශ්චිත යමක් දැනගන්නට ලැබේවි” යයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් වාර්තා වේ.
යම් හෙයකින් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නොහැකි වුවහොත්, එහි ප්‍රතිවිපාක වශයෙන් ඇතිවන මූල්‍ය අලාභය, හුදෙක් තරගාවලියේ සත්කාරකයන් වන ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට පමණක් නොව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මෙන්ම එහි සාමාජික රටවලටත් විඳ ගැනීමට තරම් නොවන දරුණු ප්‍රතිවිපාක ඇතිකරවිය හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පැහැදිළි කර දී තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන කිනම් ආකාරයේ හෝ ක්‍රිකට් තරගයක් අන්තර්ජාතික ක්‍රිකට් වෙළෙඳ පොළේ ඉහළම අගයක් ගන්නා තරගයකි. ඉන්දියාවේ වෙසෙන කෝටි 140 ක ජනකායත්, පාකිස්තානයේ වෙසෙන කෝටි 25.5 ක ජනකායත් සම්පූර්ණයෙන්ම වාගේ ක්‍රිකට් ලෝලීන් වීමත්, මෙම රටවල් දෙක අතරේ වසර ගණනාවක සිට පවතින එදිරිවාදිකම් නිසාත් ඉන්දු - පාකිස්තානු ක්‍රිකට් තරගයක් වෙනුවෙන් අති විශාල සල්ලි මල්ලක් ඉදිරිපත් කිරීමට රූපවාහිනී නිෂ්පාදන සමාගම් නොපැකිළිවම ඉදිරිපත් වෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්තානු කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි නොවන්නේ නම්, ඉන්දු - පාකිස්තාන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ හෝටල් වෙන්කරවාගත් නරඹන්නන්ට ඒවා අවලංගු කිරීමට සිදුවන බැවින්, එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද බලවත් පහරක් වන බවයි.
එසේම ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයට කළ උදව් උපකාරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිහිපත් කර දී තිබේ. වසර 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් අන්තර්ජාතික කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම අතහැර දැමූ පසුව, පාකිස්තානයේ සංචාරය කළ පළමු අන්තර්ජාතික කණ්ඩායම වූයේ ද 2017 දී පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමයි.
15 වැනිදා තරගයට තමන් සහභාගි වන්නේ නැතැයි පාකිස්තානය දිගින් දිගටම කියා සිටී. එහෙත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් බ්‍රහස්පතින්දා (05 වැනිදා) ඉන්දියාවේදී පැවැති ලෝක කුසලාන නායකයන්ගේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ 15 වැනිදා තරගය සඳහා තමන් කොළඹට යන බවයි. එසේ වුවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පාකිස්තානු නායක සල්මන් අඝා කියා සිටියේ ඉන්දියාව සමගින් තරග නොකිරීම ක්‍රීඩකයන්ගේ හෝ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් නොව, පාකිස්තානු රජයේ තීරණයක් බවයි.
“ඉන්දීය කණ්ඩායමත් එක්ක තරගයට යන්න එපා කියලා අපට කිව්වේ අපේ රජයෙන්. අපේ රජයේ තීන්දුවට හිස නමන්න අපි බැඳිලා ඉන්නවා” යයි පාකිස්තානු නායක සල්මන් අඝා බ්‍රහස්පතින්දා පැවසීය.
යම් හෙයකින් මෙම තරගය පැවැත්විය නොහැකි වුවහොත් එයින් සිදුවන මූල්‍ය අලාභය ඩොලර් මිලියන 250 ක් (රුපියල් මිලියන 77,750 ක් හෙවත් රුපියල් කෝටි 7775 ක්) පමණ වන බව ඉන්දියා ටුඩේ පුවත් පත වාර්තා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.