
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට...)
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට රැස්වූ 30,000 කට ආසන්න ක්‍රිකට් ලෝලීන් හමුවේ චිත්තාකර්ශනීය ක්‍රිකට් සංදර්ශනයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 8 ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමගින් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවීමේ එළිපත්ත අබියසට තල්ලු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවෝ සියලු දෙනා දැවී ලකුණු 181 ක් ලබාගත්හ. පැතුම් නිස්සංකගේ අභිමානවත් ශතකයත් කුසල් මෙන්ඩිස් (51) සහ පවන් රත්නායකගේ (නොදැවී 28) අලංකාර පිතිහරඹයත් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 කට ලකුණු 184 ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
මෙම සාර්ථක ලකුණු හඹායාම ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේදී පමණක් නොව, ශ්‍රී ලංකාවේදී මෙන්ම ලෝක කුසලාන තරගවලදීත් දෙවැනි වර පන්දුවට පහර දෙමින් අවතීර්ණ වූ ඉහළම ඉලක්කයයි.
අද ලබාගත් ශතකයත් සමගින් විස්සයි-20 අන්තර්ජාතික ශතක දෙකක් (107 සහ නොදැවී 100) ලබාගත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසින් ද පැතුම් නිස්සංක වාර්තා පොතට එක්විය. වසර 20 ක කාලයක් තිස්සේ විස්සයි-20 අන්තර්ජාතික තරගවලට සහභාගි වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක හැරුණු විට ශතක ලබා ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් (104), කුසල් ජනිත් පෙරේරා (නොදැවී 100) සහ මහේල ජයවර්ධන (100) පමණි. මෙම ශතක සියල්ල අතරේ වේගවත්ම ශතකය වන්නේ පැතුම් නිස්සංක අද දිනයේදී පන්දු 52 කින් ලබාගත් ශතකයයි.
ලකුණු 182 ක ඉහළ ඉලක්කයක් කරා යාමට තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක ලකුණකට දැවී ගියේය. එහෙත් පසුව පැමිණි කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක දෙදෙනාම නිස්සංක සමගින් එක්ව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් එන එන පිළිවෙලට, ගල ග්රහයෙන් ගෙන බිම හෙළුෑහ.
පැතුම් සමගින් පැවැති ලකුණු 97 ක සම්බන්ධතාවකට පසුව කුසල් මෙන්ඩිස් දැවී ගියද පවන් රත්නායක සහ නිස්සංක එක්ව ඉතිරි කොටස සම්පූර්ණ කළහ. පැතුම් නිස්සංකගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ. පවන් රත්නායකගේ ලකුණු 28 හතරේ පහර 6 කින් සමන්විත විය.
විස්සයි-20 තරගයකදී තරගයකදී දැකගත හැකි විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ මෙන්ම පන්දු රකින්නෝ, ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් කඩුලු හයම ලකුණු 21 ක් ඇතුළතදී දවාගත්හ. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 181 කි.
ඕවර 16 ක් නිමාකරමින් ඉනිමේ අග්ගිස්සට පිවිසෙන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 6 ක් අතැතිව සිටියහ. ග්ලෙන් මැක්ස්වෙල්ගේ උඩපන්දුවක් පැතුම් නිස්සංක අතින් ගිළිහි ගොස් තිබූ අතර මැක්ස්වෙල් සහ ජොෂ් ඉංග්ලිෂ් දෙදෙනා කඩුල්ලේ සිටි බැවින් ඕස්ට්‍රේලියානුවෝ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වෙත ඉලක්කය අල්ලමින් සිටියහ.
ඊළඟ ඕවරයේදී පැතුම් නිස්සංක රැකගත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් දක්නට ලැබුණු විශිෂ්ටතම උඩපන්දුවයි. දුෂාන් හේමන්තගේ පන්දුවට මැක්ස්වෙල් ගැසූ රිවර්ස් ස්වීප් පහරින් ඉහළ ගිය පන්දුව බැක්වර්ඩ් පොයින්ට කලාපයට ඉහළින් ඇදී ගියේය. ඒ වෙත පියාඹා ගිය නිස්සංක දෑතින්ම උඩපන්දුව රැකගත්තේ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිටි 30,000 කට ආසන්න ප්‍රේක්ෂක පිරිසට සදාතනික මතක සටහනක් ඉතිරි කරමිනි. ඒ සමගින් දුෂාන් හේමන්ත සිය තුන්වැනි කඩුල්ල හිමිකර ගත්තේය.
එතැනින් ග්‍රහණය දැඩිකරගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ ලකුණු 21 ක් ඇතුළත අවසන් කඩුලු හයම දවාගනිමින් 2021 ලෝක ශූරයන්ව ලකුණු 181 කට සීමා කළහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේ රාත්‍රියේ පවතින පින්න හේතුවෙන් පන්දුව ග්‍රහණය කරගැනීම අසීරු වන බැවිනි. එහෙත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් මෑතකදී මුහුණ දුන් දරුණුම ප්‍රහාරයට ලක්කළ මිචෙල් මාෂ් (54) සහ ට්‍රැවිස් හෙඩ් දෙදෙනා පන්දු 51 කින් ලකුණු 104 ක් පුවරුවට එකතු කළහ.
කැමරන් ග්‍රීන් සහ ටිම් ඩේවිඩ් දෙදෙනාම ලකුණු 20 ක් ඇතුළත දැවී ගිය නමුත් ජොෂ් ඉංග්ලිෂ් සහ ග්ලෙන් මැක්ස්වෙල් දෙදෙනා ලකුණු සංඛ්‍යාව 160 දක්වා ඉදිරියට ගෙන ගියහ. එහෙත් පැතුම්ගේ උඩපන්දුවෙන් පසු ශ්‍රී ලාංකිකයෝ තරගයේ පාලනය අතට ගත්හ.
සම්පූර්ණ තරගයම උඩු යටිකුරු වූයේ පැතුම් රැකගත් ඇදහිය නොහැකි උඩපන්දුවෙනි.






ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.