Last Update  :  2026-01-30 11:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්
යොවුන් ලෝක කුසලාන - 2026

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

editorial - 2026 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවැනි තරගයේදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය අත්පත් කරගත්හ. සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් ඉතිරිව තිබෙන අතර එම තරගයෙන් පසුවත් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයම රැකගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත. 

සිම්බාබ්වේහි බුලවායෝ නුවරදී අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිලට කාසියේ වාසිය අහිමි විය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 265 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා යෞවනයෝ ඕවර 46 කදී කඩුලු 5 ට ලකුණු 265 ක් ලබාගනිමින් තරගය ජයගත්හ. 

අගනා ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු විරාන් චමුදිත, පන්දු 94 කින් ලකුණු 110 ක් ලබාගත්තේ හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසාලමිනි. අනෙක් ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන ලකුණු 04 කට දැවී ගිය නමුත් සෙනුජ වැකුණගොඩ සහ විරාන් චමුදිත එක්ව, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 143 ක සම්බන්ධතාව නිසාම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට පිවිසියේය. 

31 වැනි ඕවරයේදී විරාන් චමුදිත දැවී යන විට ලකුණු 191 ක් පුවරුවේ සටහන්ව තිබුණු අතර එතැන් සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 116 කින් ලකුණු 75 කි. ඉදිරිපෙළ පිතිකරුවන් වූ කවිජ ගමගේ සහ විමත් දින්සර දෙදෙනාම දැවී ගිය නමුත් මැද පෙළ පිතිකරුවන් වූ චාමික හීනටිගල (නොදැවී 20) සහ දුල්නිත් සිගේරා (නොදැවී 15) සිය වගකීම නොපිරිහෙළා ඉටුකරමින් ආපසු ක්‍රීඩාගාරයට ආවේ තරගය ජයගැනීමෙන් පසුවය. 

අනාගතයේදී බලාපොරොත්තු තැබිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු වීමේ ලකුණු පෙන්වන විරාන් චමුදිත කඩුලු දවාගත්තේ නැතත්, ආරම්භක පන්දු යවන්නා වශයෙන් සිය ඕවර 10 ම යවමින් එය ලකුණු 43 කට සිමාකර ගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික හීනටිගල (29/1) එක අන්තයකින් පිතිකරුවන් ඇද බැඳ තබා ගනිද්දී අනෙක් අන්තයෙන් පන්දු යැවූ දකුණතින් පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගරයට යවමිනි.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ට 261 යි
(ජෝරිච් වැන් ෂැල්මක් 116, අද්නාන් ලෙගාඩියන් 46, බැන්ඩිල් මබාතා 12, පෝල් ජේම්ස් නොදැවී 37, මයිකල් කෘසකැම්ප් නොදැවී 21, කවිජ ගමගේ 61/2, විග්නේෂ්වරන් ආකාශ් 46/4) 

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම - ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී 265 යි
(විරාන් චමුදිත 110, සෙනුජ වැකුණගොඩ 48, විමත් දින්සර 32, කවිජ ගමගේ 13, චාමික හීනටිගල නොදැවී 20, දුල්නිත් සිගේරා නොදැවී 15, මයිකල් කෘසකැම්ප් 59/2, කෝමේ බෝතා 37/2)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.