
නාමල් පතිරගේ
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී මැයි 12 වැනිදා ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 18 න් පහළ) තරග මාලාවට වියදම් හරස්වීමෙන් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අද (3) වන විට වඩාත් අවිනිශ්චිත තත්වයට පත්ව තිබූ බව වාර්තාවේ. එය මැයි 18 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.
ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙකක් සූදානම් කර මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ නේවාසික පුහුණුවීම් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 7 වැනිදාය. ඒ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිත දෙකක් එහිදී ස්ථාපනය කරමිනි.
එහෙත් පවතින අවිනිශ්චිත තත්වය හමුවේ එම සංචිත ක්‍රියාකාරකම් පසුගිය මැයි 1 වැනිදා සිට නිවාඩුවක් යයි දැනුම් දෙමින් තාවකාළිකව අත් හිටුවීමට පියවර ගෙන තිබේ. කෙසේවූවත් මේ වන විට තරග සංචාරය සදහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 12 දෙනෙකු බැගින් වන ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙකක් නිර්දේශ කර අවසන්ව තිබියදී මෙම තත්වය වාර්තාවී තිබේ. තරග සංචාරය සදහා පුහුණුකරුවන් හය දෙනෙකු ඇතුළුව කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියක්ද සහභාගිවීමට නියමිතය.
කෙසේවූවත් ටෂ්කන්ට් තරග සංචාරය සදහා ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙකක් පමණ වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය මුලින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට බලාපොරොත්තු ලබා දෙමින් එහි සම්බන්ධ්කරණ කටයුතු වලට මැදිහත්වීම් කළ බවත් වාර්තාවේ.
ඒ පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වන විට ප්රතිචාරයවී ඇතැයි පැවැසෙන්නේ එය දරා ගත නොහැකි වියදමක් බවයි. කෙසේවූවත් මෙම තත්වය තුළ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත මෙම ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක දැඩි ව්‍යාකූල තත්වයකට පත්ව සිටින බවත් පැවැසේ.
තරග සංචාරයට නිර්දේශ ලබා සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් බලාපොරොත්තු රදවා ගනිමින් මේ වන විට පෞද්ගලිකව වියදම් දරමින් ගමන් බලපත්‍ර හා වෙනත් පූර්ව සූදානම් කටයුතු සදහා වියදම් දරා තිබෙන බැවින් මෙම සිදුවීමෙන් ඔවුන් වඩාත් අසරණවී සිටින බවත් එහිදී දැන ගන්නට ඇත.
ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් හැරෙන්නට තරග මාලාව පැවැත්වෙන දින අටක් සදහා එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවන් එම එක් දිනක් වෙනුවෙන් ඩොලර් 60 ක වියදමක් දැරිය යුතුය. කෙසේවූවත් පවතින රටේ ක්‍රීඩා නීතිය අනුව පාසල් සිසුන් වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි වන පිළිගත් ජාත්‍යන්තර තරග සංචාර සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පමණක් ලබා දෙන අතර ඒ සදහා වියදම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය බැදී සිටින බවද සදහන් වේ.
මෙම නියමය ක්‍රියාත්මක වෙමින් පසුගිය වසර වලදී ඉහත තරග මාලාව සදහා ශ්‍රී ලංකාව කණ්ඩායම් සහභාගි කළ බවද වාර්තාවේ.
ඒ අනුව මෙවර තරග සංචාරයට සූදානම් වීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීයෙකු ලබා දුන් බව කියන පොරොන්දුවක්ද මුල් කර ගනිමින් පුහුණු සංචිත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය උනන්දුවී තිබේ.
මෙම තත්වය මත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම තරග සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් මත හෙට (4) එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.