Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වික්‍රමාන්විත පිතිහරඹයකින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව දිනවයි
1 වැනි විස්සයි-20 තරගය

වික්‍රමාන්විත පිතිහරඹයකින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව දිනවයි

editorial - 2025 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 29 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටීම නිසා පරාජයේ අගාධයට ඇදී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, වික්‍රමාන්විත පිතිහරඹයකින් ගොඩගත් කමිඳු මෙන්ඩිස්, සිම්බාව්බේ පිලට එරෙහිව හරාරේ නුවරදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. පන්දු 16 කින් ලකුණු 41 ක් ලබාගත් කමිඳුගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. 

10 වැනි ඕවරය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 96 ක් ලබා සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 5.3 ක් ඇතුළත කඩුලු 5 ට 125 ක් ලෙසින් වෙනස් විය. බ්‍රැඩ් එවන්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ දසුන් ශානක දැවී යන විට ඕවර 17 ක්ම අවසන් වී තිබිණ.
 
ඕවර 3 ක් පමණක් අතැතිව සිටි ශ්‍රී ලංකාව ඉලක්කයට ලකුණු 34 ක් පසුපසින් සිටියේය. ඊළඟ ඕවරය යැවූ ටිනොටෙන්ඩා මපෝසාගෙන් ලකුණු 26 ක් උදුරාගත් කමිඳු මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත දෙදෙනා නැවතත් තරගයට අවතීර්ණ වූහ. අවසන් ඕවර දෙකේදී අවශ්‍ය වූයේ ලකුණු 8 කි. 

ලකුණු 176 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාගෙන් කදිම ආරම්භයක් ලැබිණ. පළමු කඩුල්ල සඳහා පන්දු 61 කින් ලකුණු 96 ක් එක්කළ පැතුම් සහ මෙන්ඩිස් දෙදෙනාගේම පිතිහරඹය නැවත නැවතත් නැරඹීමට තරම් චිත්තාකර්ශනීය විය. බ්ලෙසිං මුසෙරබානි යැවූ දෙවැනි ඕවරයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 4, 1, 4, 4, 4 සහ 2 ක් ලෙසිනි. 

බ්‍රයන් බෙනට්ගේ (81) විශිෂ්ට පිතිහරඹය නිසා බලාපොරොත්තු වූ ඉසව්වට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. පන්දු 57 කින් ලකුණු 81 ක් ලබාගත් දකුණත් ආරම්භක පිතිකරුවාගේ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත වී තිබිණ. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ඔහුට සිතූ තරම් වාසි ලබාගත නොහැකි විය. තුන්වැනි ඕවරයේදීම ආරම්භක පිතිකරුවකු වන තඩිවංශේ මරුමානි දැවී ගිය නමුත් බෙනට් සහ ෂෝන් විලියම්ස් එක්ව පන්දු 35 කින් ලකුණු 59 ක් කණ්ඩායමට එකතු කළහ. 
දුෂාන් හේමන්ත (28/1) සහ දුෂ්මන්ත චමීර (30/3) හමුවේ මැද පෙළ පිතිකරුවන් තරමක් පසුබා ගියද බෙනට්ගේ පිත්ත ඉසුඹුවක් නොලබාම ක්‍රියාත්මක විය. බෙනට් පන්දු 33 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.

තවමත් 21 හැවිරිදි තරුණයකු වන නමුත් බ්‍රයන් බෙනට් මේ වන විටත් ටෙස්ට් තරග 10 කට සහ විස්සයි-20 තරග 34 කට සහභාගි වී තිබේ. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අන්තර්ජාතික ආකෘති තුනේදීම ඔහු සාර්ථක පිතිකරුවෙකි. 

දුෂ්මන්ත චමීර හොඳ පන්දු යැවීමක නිරත වූ නමුත් නුවන් තුෂාර සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනාම දැඩි පහරදීමකට ලක්වූහ. 

වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් සිම්බාබ්වේ සංචාරයට එක් නොවීය. ඔහුගේ ස්ථානයට පැමිණි දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත අද සිය විස්සයි-20 හිස්වැස්ම හිමිකර ගත්තේය. සාර්ථක පන්දු යැවීමක නිරත වූ හේමන්ත සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරගනිමින් කඩුල්ලක් දවාගත්තේය. ඔහුගේ පන්දු 24 න් සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ හතරේ පහරක් සහ හයේ පහරක් පමණි. 

 

 


අදහස් (0)

වික්‍රමාන්විත පිතිහරඹයකින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.