Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම....

වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම....

ශනුක අරවින්ද - 2017 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට නැගී එන පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහු අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහලේ වේග පන්දු යවන ක්‍රිඩක නිපුන් රංසිකයි.

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ රන්ජන් මඩුගල්ල (1979), අර්ජුන රණතුංග (1980-82), රොෂාන් මහානාම (1983-84), අසංක ගුරුසිංහ (1985), මාවන් අතපත්තු (1990), මුත්තයියා මුරලිදරන් (1991) සහ තිලාන් සමරවීර (1994-95) වැනි විශිෂ්ටයන්ගේ නාමාවලියට මේ වන විටත් ඔහු ඇතුළත්වී හමාරය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති 38 වැනි ‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මාවන් අතපත්තු මහතා අතින් වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ලබාගැනීමට තරම් රංසික වාසනාවන්ත විය. මෙම සම්මානයට හිමිකම් කී දෙවැනි පන්දු යවන්නා මෙන්ම පළමු වේග පන්දුවන්නා ලෙසද රංසික ඉතිහාසයට එක්විය. මුත්තයියා මුරලිදරන් හැරෙන්නට රංසිකට පෙර මෙම සම්මානයට හිමිකම් කියා තිබුණේ පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් පමණි.

තවමත් 18 වැනි වියේ පසුවන නිපුන් රංසික, මෑත කාලයේදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ප්‍රධානතම වේග පන්දුයවන්නා බවට පත්වූයේ අන්තර් ජාතික තරග 15 කදී කඩුලු 34 ක් දවාගනිමිනි. ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහිව සිය හොඳම පන්දුයැවීම සටහන් කරගන්නා රංසික, දකුණු අප්‍රිකාවේදී පැවැති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා - සිම්බාබ්වේ තුන් කොන් තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේ අනාගතයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් වන බවට පෙර නිමිති කියා පාමිනි.  

මෙවර සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මානයට අමතරව නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම පන්දුයවන්නා සම්මානයද තමන් සතුකර ගැනීමට රංසික සමත් විය. මෙවර අන්තර් පාසල් තරග වාරයේදී අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල නියෝජනය කරමින් තරග 15 කදී කඩුලු 46 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතා එම සම්මානය දිනාගැනීම සඳහා ඔහුට ප්‍රයෝජනවත් විය.

මෙවර පාසල් තරග වාරය තුළ ලකුණු 880 ක් රැස්කරමින් සහ කඩුලු 71 ක් දවාගනිමින් දස්කම් දැක්වූ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාවය හිමිකර ගත්තේය. එපමණක් නොව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේද ධනංජය විසිනි.

කොළඹ ඉසිපතන විදුහලේ පැතුම් නිස්සංක සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ හරීන් බුද්ධිල පිළිවෙළින් දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්හ. මෙවර පාසල් තරග වාරයේ තරග 10 කදී ලකුණු 923 ක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් වූ අතර තරග 9 කදී කඩුලු 76 ක් දවාගැනීමට හරීන් බුද්ධිල සමත් විය.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෲස්පුල්ලේ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩයෙක් ලැබූ ඉහළම ඡන්ද සංඛ්‍යවටද (248,005) හිමිකම් කියමිනි.

ඩයලොග් ආසියාටා සමාගම, සන්ඬේ ටයිම්ස් පුවත්පත සමග අත්වැල් බැඳගනිමින් මෙවර විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගය සංවිධානය කළ අතර ඩයලොග් සමාගම, විජය පුවත්පත් සමාගම සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් ආරාධිතයෝ රැසක් එහි සම්මාන උළෙලට සහභාගි වූහ.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ශූරතාව - නිපුන් රංසික (අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල)
අනුශූරතාව - නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - පැතුම් නිස්සංක (කොළඹ ඉසිපතන විදුහල)
අනුශූරතාව - අශේන් බණ්ඩාර (ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - හරීන් බුද්ධිල (ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල)
අනුශූරතාව - නවීන් ගුණවර්ධන (කොළඹ තර්ස්ටන් විදුහල)
දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - රවිඳු රශාන්ත (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
අනුශූරතාව - සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
දක්ෂතම කඩුලු රකින්නා  
ශූරතාව - නවිඳු නිර්මාල් (ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල)
අනුශූරතාව - දුෂාන් ගුරුගේ (මීගමුව මාරිස්ටෙලා විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල)
අනුශූරතාව - චරණ නානායක්කාර (කොළඹ තර්ස්ටන් විදුහල)
දක්‍ෂතම නායකයා
ශූරතාව - කසුන් අබේරත්න (කොළඹ තර්ස්ටන් විදුහල)
දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - කොළඹ තර්ස්ටන් විදුහල
අනුශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල
ජනප්‍රියම ක්‍රීඩකයා
ශූරතාව - ලසිත් කෲස්පුල්ලේ (මීගමුව මාරිස්ටෙලා විදුහල)
අනුශූරතාව - නවිඳු නිර්මාල් (ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල)

නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ශූරතාව - දිලුම් සුදීර (කරන්දෙණිය මධ්‍ය මහ විදුහල)
අනුශූරතාව - වනිත වන්නිනායක (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - වනිත වන්නිනායක (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
අනුශූරතාව - ලහිරු තඹවිට (කළුතර සිරි කුරුස විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - නිපුන් රංසික (අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල)
අනුශූරතාව - දිලුම් සුධීර (කරන්දෙණිය මධ්‍ය මහ විදුහල)
දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය මහ විදුහල)
අනුශූරතාව - කවිඳු ඉරෝෂ් (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - දිලුම් සුධීර (කරන්දෙණිය මධ්‍ය මහ විදුහල)
අනුශූරතාව - නිපුන දේෂාන් (පානදුර ශ්‍රී සුමංගල විදුහල)
ජනප්‍රියම ක්‍රීඩකයා
ශූරතාව - ප්‍රභාෂ් මදුරංග (පාදුක්ක සිරි පියරතන මහා විදුහල)
අනුශූරතාව - පුලිත යසස් (පානදුර ශ්‍රී සුමංගල විදුහල)
දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - කුරුණෑගල සාන්ත ආනා විදුහල
අනුශූරතාව - මාතර ශාන්ත තෝමස් විදුහල
දක්‍ෂතම නැගී එන කණ්ඩායම්
දකුණු පළාත් ශූරතාව - මාතර රාහුල විදුහල
මධ්‍යම පළාත් ශූරතාව - මහනුවර විද්‍යාර්ථ විදුහල
වයඹ පළාත් ශූරතාව - කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල
උතුරු පළාත් ශූරතාව - යාපනය මධ්‍ය මහා විදුහල
සබරගමු පළාත් ශූරතාව - තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහ විදුහල  
බස්නාහිර පළාත් ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විදුහල
ඌව පළාත - බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල
දස්කම් දක්වමින් ඉදිරියට එන කණ්ඩායම
ශූරතාව - හංවැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල

ජාත්‍යන්තර පාසල් කාණ්ඩය
ජනප්‍රියම ක්‍රීඩකයා
ශූරතාව - තාරීක් හනීෆ් (විචර්ලි ජාත්‍යන්තර පාසල)
අනුශූරතාව - ශිම්රාස් ශාහිල් (ඇලීතියා ජාත්‍යන්තර පාසල)

ඡායාරූප - අමිල ගමගේ සහ රංජිත් පෙරේරා

 


අදහස් (0)

වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම....

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.