
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සියල්ලෙන්ම ඉවත්වීමට සිදුවී තිබේ. අයර්ලන්තයට එරෙහිව පසුගිය ඉරිදා (8 වැනිදා) කොළඹදී පැවති පළමු තරගයේදී ඇති වූ කලව පසුපස මාංශ පේශියක ඇතිවූ ආබාධයක් හේතුවෙන් හසරංගට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ.
වනිඳු හසරංග වෙනුවට තවත් පා දඟ පන්දු යවන්නකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු ද වන දුෂාන් හේමන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ. කෙසේ වෙතත් දුෂාන් හේමන්තගේ ඇතුළත් කිරීමට ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලැබිය යුතුව තිබේ.
අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී සිය පළමු ඕවරය යැවූ හසරංග පාදයේ ඇතිවූ ආබාධය හේතුවෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් නැවත පැමිණි පා දඟ පන්දු යවන්නා සිය ඕවර 4 අවසන් කරමින් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුගේ කලව පසුපස මස්පිඬුවේ ආබාධ තත්ත්වය දිගටම පැවැති අතර හසරංග වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකරන ලදි.
සඳුදා කරන ලද පරීක්‍ෂණවල වාර්තා අද (10 වැනිදා) ලැබුණු අතර ඒවායින් සනාථ වී ඇත්තේ හසරංගගේ වම් කලවා මාංශ පේශියේ බරපතල ඉරීයාමක් තිබෙන බවයි. මෙම තත්ත්වය සුවකර ගැනීම සඳහා දින කිහිපයක් විවේකීව ගතකිරීමටත් පසුව ක්‍රමාණුකුලව තරග තත්ත්වයන්ට අවතීර්ණ වීමටත් හසරංගට සිදුවනු ඇත. හසරංග ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිීරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර ඇත්තේ ඔහුගේ වෛද්‍ය වාර්තා එක්සත් රාජධානියේ විශේෂඥයෙකු විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් පසුවය.
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර වනිඳුට හිමිවන්නේ 5 වැනි ස්ථානයයි. හසරංග, විස්සයි-20 අන්තර්ජාතික තරග 95 කදී කඩුලු 154 ක් දවාගෙන තිබේ.
වනිඳු හසරංග මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අහිමි වූ දෙවැනි ක්‍රීඩකයායි. ලෝක කුසලාන සංචිතයේ සිටි එෂාන් මාලිංග, මේ මස 1 වැනිදා, එංගලන්තයට එරෙහිව පල්ලෙකැළේදී පැවැති විස්සයි-20 තරගයකට සහභාගි වෙමින් සිටියදී අබාධයකට ලක්විය. මාලිංගගේ උරහිස විසන්ධිවීම හේතුවෙන් ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචිතයට කැඳවන ලදි.
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම් මීළඟ තරගය පෙබරවාරි 12 වැනිදා (බ්‍රහස්පතින්දා) ඕමානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.