Last Update  :  2025-08-07 17:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳුගේ ගුග්ලියට උත්තර හොයයි

වනිඳුගේ ගුග්ලියට උත්තර හොයයි

editorial - 2021 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායම බිමටම ඇද දමන්නෝ කවරහුද යන්න නිසි සොයා බැලීමක් කළහොත් ඒ පා දඟ පන්දු යවන්නන් බව සොයාගත හැකිය. ඔවුන් අතුරින්ද වමත් පා දඟ පන්දු යවන්නන්ට වඩා දකුණත් පා දඟ පන්දු යවන්නන් ඉදිරියෙන් සිටින බව හොඳින්ම පෙනේ.

ඉදිරියේ එන එක්දින තරගාවලියේදී සත්කාරක රටේ වාසිය බංග්ලාදේශයට තිබෙන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වනිඳු හසරංග නම් තමන්ට හිසරදයක් බව බංග්ලාදේශය වැටහී තිබේ. බංග්ලාදේශ පිතිකරුවන් බොහෝ අවස්ථාවලදී පා දඟ පන්දු යවන්නන් හමුවේ අමාරුවේ වැටී ඇති අතර ඊට හේතුව බංග්ලාදේශයේ දේශීය තරගාවලිය තුළ හොඳ පා දඟ පන්දු යවන්නන් නොමැති වීමයි.

මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එයින් ප්‍රයෝජන ගැනීමට මාන බැලුවහොත් එය සාධාරණ සිතිවිල්ලකි. ඒ සඳහා ඔවුන්ට ඇති හොඳම අවිය වනිඳු හසරංගයි. ඔහු හුදෙක් පා දඟ පන්දු යවන්නකු පමණක් නොවේ. ඉතාමත් ආක්‍රමණශීලී මැද පෙළ පිතිකරුවෙකි.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමෙන් කෙළින්ම ජාතික සංචිතයට කැඳවන ලද හසරංග මේ දක්වාම එක්දින කණ්ඩායම තුළ සිය ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් සිටී. සිම්බාව්වේ පිලට එරෙහිව වසර 2017 ගාල්ලේදී පැවැති එක්දින තරගයදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් හසරංග, සිය මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු පා දඟ පන්දු යවන්නා මෙන්ම එවන් දස්කමක් කළ තුන්වැනි කෝඩුකාරයාද විය.

හසරංග සුවිශේෂී පා දඟ පන්දු යවන්නකු බවට පරිවර්තනය කර ඇත්තේ ඔහුගේ ගුග්ලි පන්දුවයි. එය හඳුනාගැනීම අපහසුය. බැලූ බැල්මට රෂීඩ් ඛාන් (ඇෆ්ඝනිස්තානය) හෝ ඇඩම් සම්පා (ඕස්ටේ්‍රලියාව) මෙන් ඔහු පන්දු යවයි.

දකුණතින් පා දඟ පන්දු යවන්නකු ‘ගුග්ලි’ පන්දුව සමග පැමිණීමේදී පිතිකරුවාට ඇත්තේ එක විකල්පයක් පමණි. එනම් පන්දුව දෙස බලා සිටිනවාට වඩා පන්දු යවන්නාගේ අත ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා සිටිමින් පන්දුවට මුහුණ දීමයි. එහෙත් හසරංගගේ ගුග්ලි පන්දුව එන්නේ ඔහුගේ අතේ පිටුපසින් නොව මැදඟිල්ලෙනි.

බංග්ලාදේශ කණ්ඩායමේ වීඩියෝ විශ්ලේෂකවරයා වන ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් මහතා කියන පරිදි මෙම පා දඟ පන්දු යවන්නාට පන්දු කිහිපයක් ඇතුළතදී තරගය උඩු යටිකුරු කළ හැකිය.  එබැවින් වනිඳු හසරංග හමුවේ පරෙස්සම් විය යුතුව තිබේ.
 
“ඇත්තටම කියනවා නම් ඔහු තර්ජනයක් තමා”
“හසරංග, සම්පා වගේම රෂීඩ්... මේ ඔක්කොම එක වගේ තමා. මේක ගුග්ලි පන්දු යැවීමේ අලුත් ක්‍රමයක්” යයි ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් මහතා ‘ක්‍රික්බස්’ වෙබ් අඩවියට පවසා තිබිණ. ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමග කටයුතු කරද්දී රෂීඩ් ඛාන්ව ඉතා ආසන්නයෙන් සිට නිරීක්‍ෂණය කර ඇති වීඩියෝ විශ්ලේෂකයෙකි.

“එයාගේ (වනිඳු හසරංගගේ) අත දිහා බලලා අපිට එයාව අල්ල ගන්න බැරි නම්, හොඳම විදිහ තමයි ගුග්ලි පන්දු යවන්නකුට මුහුණ දෙන විදිහට එයාට මුහුණ දීම. මොකද එයාගේ කඩුලු වැඩි ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ මේ ගුග්ලි පන්දුවෙන්” යයි කී ශ්‍රීනිවාස් මහතා...
“මේ තරගාවලියේදී අපි එයාට කඩුලු නොදී හිටියොත් අපට හොඳ ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කරන්න පුළුවන්. අත දිහා බලලා එයාව අල්ලගන්න බැරි නම් පන්දුව කැරකෙන විදිය බලන්න. ඒත් බැරිනම් ගුග්ලි පන්දු යවන්නකුට මුහුණ දෙන විදියට ඔහුට මුහුණ දෙන්න.... එහෙම කළොත් දැවීයාමේ ආකාර දෙකක් ඉවත් කරන්නට අපට පුළුවන්” යයිද ශ්‍රීනිවාස් මහතා බංග්ලාදේශ පිතිකරුවන්ට දෙන උපදෙස් ‘ක්‍රික්බස්’ වෙබ් අඩවියට පැවසීය.

ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් මහතා තවමත් බංග්ලාදේශ කණ්ඩායම හා සම්බන්ධ වී නැත. අයි.පී,එල්. තරගාවලිය සඳහා ඉන්දියාවට ගිය ඔහු තවමත් ඉන්දියාවේ සිටී. එහෙත් හසරංගට මුහුණ දීම සඳහ ඔහු ඉන්දියාවේ සිට බංග්ලාදේශ පිතිකරුවන්ට උපදෙස් දෙමින් සිටී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය මේ මස 23, 25 සහ 28 දිනවලදී පැවැත්වේ.

- 213


අදහස් (0)

වනිඳුගේ ගුග්ලියට උත්තර හොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.