Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොෂේන්ගේ තැන කමිඳු මෙන්ඩිස්ට

රොෂේන්ගේ තැන කමිඳු මෙන්ඩිස්ට

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරෙන මූලික සංචිතයට තෝරාගත් රොෂේන් සිල්වාගේ ස්ථානය, කමිඳු මෙන්ඩිස්ට හිමිවී තිබේ. මූලික සංචිතයට තෝරාගනු ලැබ තිබියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා විදේශගතවීම හේතුවෙන් රොෂේන් සිල්වාගේ ස්ථානය සඳහා කමිඳු මෙන්ඩිස් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 

“අපි එයාව බංග්ලාදේශ සංචාරයට තෝරාගත් මූලික සංචිතයට ඇතුළත් කරලා තිබුණේ. ඒත් එයා අපිට නොකියාම එංගලන්තයට ගිහිල්ලා තියෙනවා... ලීග් ක්‍රිකට් සෙල්ලම් කරන්න”

“අපි එයාට එන්න දවසක් දුන්නා. ඒත් එයා අවෙ නැති නිසා සංචිතයේ හිස්තැන පුරවන්න අපි කටයුතු කළා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික මට්ටමේ ක්‍රීඩකයන් 20 දෙනකුට වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමා ඇතත් ඔවුන් අතරට රොෂේන් සිල්වා ඇතුළත්ව නැත. දේශීය කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයන් 10 දෙනා අතරට හෝ ඔහු ඇතුළත් වී නැත. රොෂේන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ගමන් බලපත්‍රය හෝ නොයවා විදෙස් ගතවී ඇත්තේ එබැවින් යයි දැනගන්නට ඇත. 

රොෂේන් සිල්වා අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2019 ජනවාරි මාසයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව බි්‍රස්බේන් නුවරදීය. එම තරගයේදී ලකුණු 9 ක් සහ ලකුණු 3 ක් ලබාගත් රොෂේන් පසුගිය වසරේ මාර්තු මාසයේදී කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ පිලට එරෙහිව ඇන්ටිගුවාවේ කූලිජ්හිදී පැවැති පෙරහුරු තරගයකදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 6 ස්ථානයට පිවිසීමට රොෂේන්ට අවස්ථාවක් නොලැබිණ. 

පසුගිය නොවැම්බරයේදී ශ්‍රී ලංකාවට පැමිණි කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට තෝරාගත් සංචිතයටත් රොෂේන් සිල්වා ඇතුළත් වූ නමුත් එම තරගාවලියේදී මැද පෙළ පිතිකරුවකු වශයෙන් පුහුණුකරු මිකී ආතර් මහතා විසින් චරිත් අසලංක ඉල්ලා සිටීම හේතුවෙන් රොෂේන්ට තිබූ අවස්ථාව මඟහැරිණ. 

වසර 2017 දී, ඉන්දියාවට එරෙහිව, නවදිල්ලියේදී, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රොෂේන්, එදා සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවා වූ ධනංජය ද සිල්වා (119) සහ පසුව නිරෝෂන් දික්වැල්ල සමගින් ලකුණු 152 ක් එකතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තේය. එහිදී නොදැවී ලකුණු 74 ක් ලබාගත් රොෂේන් දීප්තිමත් ටෙස්ට් අනාගතයක ලකුණු පෙන්නුම් කළ නමුත් මැද පෙළ පිතිකරුවන් අතරට නවකයන් පැමිණීම හේතුවෙන් දිගින් දිගටම ඔහුට අවස්ථාව අහිමි විය. 

පසුගියදා නිමාවූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් (ලකුණු 886) බංග්ලාදේශ සංචාරය සඳහා වූ මූලික සංචිතයට තෝරා නොගත් නමුත් එම තරගාවලියේ තරග 4 කදී ලකුණු 304 ක් ලබාගත් රොෂේන් සිල්වා මූලික සංචිතයට තෝරා ගැනිණ. පසුගිය සඳුදා (25 වැනිදා) වන විට නැවතත් පුහුණුවීම් සඳහා එක්වන ලෙසින් රොෂේන් සිල්වාට දැනුම් දී ඇතත් මේ වනවිට එංගලන්තයේ ලීග් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරමින් සිටින ටෙස්ට් පිතිකරුවාට එදිනට පැමිණිය හැකිවී නැත. එබැවින් අවසානයේදී කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවිය. 

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තමන්ට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් අසහනයට පත්ව සිටින දකුණත් පිතිකරුවා ලැන්කෂයර් ප්‍රාන්තයේ ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් තිබේ. කෙසේ වෙතත් තවත් මාසයකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව රෙෂේන් සිල්වාට ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. 


අදහස් (0)

රොෂේන්ගේ තැන කමිඳු මෙන්ඩිස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.