Last Update  :  2025-06-04 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුමේෂ් - සුමේධ අවසන් තරගයට
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය

රුමේෂ් - සුමේධ අවසන් තරගයට

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

පදක්කම් අහේනියකයට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයන් දෙදෙනාම කොරියාවේදී පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට අද (30) සමත් වූහ.

ඒ අනුව හෙල්ල විසි කිරීමේ පිරිමි අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ඊයේ පැවැති ඊට නිර්දේශ ලබා ගැනීමේ වටයේදී මීටර 83.34 ක ඉහළම දක්ෂතාවයක් දක්වමින් හෙට (31) පැවැත්වෙන එහි අවසන් තරගයට නිර්දේශ ලැබීය. ඒ අතර අනෙක්  ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහ මීටර 81.33 ක දක්ෂතාවයක් දක්වමින් එහි අවසන් තරගයට ඊයේ සුදුසුකම් සපිරීය.

අද පැවැත්වෙන හෙල්ල විසි කිරීම (පිරිමි) අවසන් තරගයට නිර්දේශ ලබා ගත් ක්‍රීඩකයන් 12 දෙනා අතරේ රුමේෂ් තරංග දෙවැනි ස්ථානයේත් සුමේධ සිව් වැනි ස්ථානයේත් පසු වෙති. ඒ අනුව මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීමේ වැඩි ඉඩක් ඊයේ වන විට තහවුරුවී තිබුණි.

රුමේෂ් තරංගගේ මීටර 85.45 ක් වන මෙම ඉසව්වේ හොදම දක්ෂතාව (ඉසව්වේ දැන් පවතින ශ්‍රී ලංකා වාර්තාවයි) වාර්තා කර තිබුණේද පසුගිය ජූනි 15 වැනිදා කොරියාවේදීමය. ඒ මොකාෆෝ නුවරදී පැවැති ආසියානු විසි කිරීමේ ඉසව් තරගාවලියට (2025) සහභාගි වෙමිනි.
 
හෙට පැවැත්වෙන එම ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට බරපතලම තර්ජනයක් එල්ලවී ඇත්තේ ඔලිම්පික් වාර්තාවට හිමි කම් කියන පාකිස්තානු ක්‍රීඩක අර්ෂාඩ් නදීම්ය. 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර 92.97 කට එහි නව (ඔලිම්පික්) වාර්තාව පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් ඔහුගේ  ඊයේ මූලික වටයේ දක්ෂතාවය වූයේ මීටර 86.34 කි. එය නව ආසියානු වාර්තාවකි.

මේ අතර අද පැවැති මීටර 100 × 4 (පිරිමි) ඉසව්වේ මූලික තරගයේදී යෂ්ථි හුවමාරුව වරද්දා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ හේතුවෙන් අවසන් තරගයේ අවස්ථාව ගිළිහී ගියේය.

එහිදී සිව් වැනි (අවසන්) අදියර ධාවනය ආරම්භ කරමින් යුපුන් අබේකෝන් විසින් තෙවැනි අදියර ධාවනය අවසන් කළ දිනෙත් ඉදුවර වීරරත්නගෙන් යෂ්ටිය ලබා ගැනීමට යාමේදී එය ගිළිහී යාම එම අවාසනාවන්‍ත තත්වය ඇති කළේය. එහි පළමු හා දෙවැනි අදියර සාර්ථක ලෙස අවසන් කළේ චමෝත් බුද්ධික හා චමෝද් යෝධසිංහ විසිනි.

මීටර 100 ×4 (පිරිමි) ඉසව්ව සදහා ආසියානු තරගාවලියට නිර්දේශ කළ ඉහත ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි ග්‍රෝන් - ප්‍රී තරගාවලියේදී අසාර්ථක වීමත් සමග ආසියානු තරග සංචාරයෙන් ඉවත් කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගත්තේය. එහෙත් ඔවුන් නැවැත සංචාරයට එක් කරන ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය සභාපතිත්වය දරන ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විධාන කිරීමත් සමග එම අවස්ථාව ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට නැවැත උදා විය.

වසර තුනකට පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මලල  ක්‍රීඩා තරග සංචාරයකට එක්වූ  යුපුන් අබේකෝන් නැවැත ඉතාලිය බලා පිටත්ව යන්නේ අසාර්ථක තරග සංචාරයකින් පසුවය. ආසියානු තරගාවලියේදී ඔහු මීටර 100 හා මීටර 200 යන ඉසව් වලට සහභාගිවීමෙන් වැළකී සිටීමත් ප්‍රශ්නකාරී විය.

 මීටර 200 (පිරිමි) ඉසව්වේ මූලික තරගයට අද සහභාගි වූ කාලිංග කුමාරගේ තත්පර 21.73 ක දක්ෂතාවයක් දක්වමින් අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබුවත් ඔහු ඊට සහභාගි නොවීය. සිය පාදයේ මහපට ඇගිල්ලේ පවතින ආබාධයක් ඊට හේතුවූ බවද වාර්තාවේ.

හෙට (31 වැනිදා) නිමාවට පත් වන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා ලෝකඩ පදක්කම් තුනකට සීමාවී තිබුණි. එහෙත් ගියවර (2023 - බැංකොක් ) තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා සිව් වැනි ස්ථානය ලැබීමට සමත් විය.

අද දිනය නිමා වන විට දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම මලල ක්‍රීඩා ප්‍රතිවාදීයා වන ඉන්දියාව තරගාවලියේ විශිෂ්ඨතම දස්කම් අතරට පැමිණෙමින් රන් පදක්කම් අටක්ද ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 18 ක් දිනා පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබුණි.  පදක්කම් සටහනේ පෙරමුණ ගත් චීනය රන් පදක්කම් 15 ක් දිනා තිබේ. 


අදහස් (0)

රුමේෂ් - සුමේධ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.