
(ශානුක අරවින්ද)
මහනුවර ක්‍රීඩා සමාජයට සිය නිවස්න ක්‍රීඩාංගණය වන නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී මින් ඉදිරියට තරග පැවැත්වීම සඳහා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඔවුන් මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් සති අන්තයේදී (21 වැනිදා) මහනුවර සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර පැවැති අන්තර් සමාජ ලීග් රග්බි තරගය නිමාවීමෙන් අනතුරුව හටගත් ගැටුම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් පසුවය.
ඉහත කී පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කරමින් නිගමනවලට එළඹීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් ඉකුත් සිකුරාදා (26 වැනිදා) පැවැති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගවලදී සියලුම ක්‍රීඩා සමාජ සිය නිවෙස්න ක්‍රීඩාංගණවල තරග වදින විට ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේත්, තරග නිලධාරීන්ගේත් ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවට තීරණයක් ගෙන තිබේ.
එබැවින් රග්බි ක්‍රීඩාව තුළ දාමරිකකම්, බියගැන්වීම් හෝ කිසිදු ආකාරයක විෂමාචාරයකට ඉඩක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි. එවැනි හැසිරීම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලීත්වයටත්, තරග නිලධාරින්ගේ මධ්‍යස්ථ භාවයටත්, ක්‍රීඩාවේ ජීව ගුණයටත් හානි පමුණුවන බැවින් සියලුම ක්‍රීඩා සමාජ සිය නිවෙස්න ක්‍රීඩාංගණ තුළ නරඹන්නන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත්, එවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වාගැනීම සඳහා උපරිම ක්‍රියාමර්ග ගත යුතු බවත් රග්බි සංගමය අවධාරණය කර සිටියි.
ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජයට යළිත් නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට හැකි වන්නේ එම ක්‍රීඩාංගණයේදී තරග වදින සෑම අවස්ථාවකදීම තරග නිලධාරීන්ගේත්, ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේත්, නරඹන්නන්ගේත් ආරක්ෂාව සඳහා පුළුල් ආරක්ෂක සැලැස්මක් ඉදිරිපත් කර, එම සැලැස්මට තරගාවලි කමිටුවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පමණක් බව රග්බි සංගමය නිවේදන කරයි.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම රග්බි තරගයකදී තරග නිලධාරීන්ගේ හෝ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව අවදානමකට ලක්වුව හොත් ශ්‍රී ලංකා රග්බි සංගමය එම ක්‍රීඩාංගණයට වහාම ක්‍රියාත්මක වන පරිදි සම්බාධක පනවන බවද, ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීම හෝ යළිත් එම ක්‍රීඩාංගණයේදී තරග නොපවත්වා ආරක්ෂාව තහවුරු කළ හැකි විකල්ප ක්‍රීඩාංගණයකදී තරග පැවැත්වීම සම්බාධකවලට ඇතුළත් බවද එම නිවේදනයේ සඳහන් වේ.
තවද තරග නිලධාරීන්ගේ හෝ ක්‍රීඩකයන්‍ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි හෝ ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දෙන හැසිරීම්වල නියැලී සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට නිත්තවෙල ක්‍රීඩාංගණයට පිවිසීම තහනම් කරන ලෙසද ශ්‍රී ලංකා රග්බි සංගමය මහනුවර ක්‍රීඩා සමාජයට උපදෙස් ලබාදී තිබේ. රග්බි ක්‍රීඩාවේ විනය, ගෞරවය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදීද මෙවැනි තීරණාත්මක පියවර ගන්නා බවද රග්බි සංගමය වැඩි දුරටත් කියා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.