
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ හයවැනි සතිය නිමාවට පත්වන විට ලකුණු 19 ක් ලබා යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ වන විට ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 කි.
පළමු සතියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායමත්, දෙවැනි සතියේදී යුද හමුදාවත් පරාජය කළ සී.ආර්. කණ්ඩායම, පස්වැනි සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමග ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පහළට වැටිණි. ඔවුන් යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ හයවැනි සතියේදී නාවික හමුදාව පරාජය කරමිනි.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සමග ඇති වූ ගංවතුර සහ නායයෑමේ තත්වයන් හේතුවෙන් මෙම තරගාවලියේ තෙවැනි සතිය සහ සිවුවැනි සතිය කල් දැමූ අතර ඉන් තෙවැනි සතියේ තරග නත්තල් සති අන්තයේදීද (7 වැනි සතියේදී), සිවුවැනි සතියේ තරග මූලික වටයේ තරග නිමා වීමෙන් අනතුරුව යෙදෙන සති අන්තයේදීද (11 වැනි සතියේදී) පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත.
පළමු සතියේදී විවේකයක් ලබා දෙවැනි සතියේදී නාවික හමුදාවත්, පස්වැනි සතියේදී පොලිසියත් පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය හයවැනි සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමග සම වීම හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. මේ වන විට ප්‍රසාද ලකුණු 3 ක් සමග මහනුවර කණ්ඩායම ලබා සිටින ලකුණු සංඛ්‍යාව 16 කි.
පළමු සතියේදී යුද හමුදාවත්, දෙවැනි සතියේදී පොලිසියත්, පස්වැනි සතියේදී නාවික හමුදාවත් පරාජය කළ ගුවන් හමුදාව, හයවැනි සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් ලකුණු 16 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ. කෙසේ වුවත් ඔවුන් සතුව ඇත්තේ එක් ප්‍රසාද ලකුණක් පමණි.
පළමු සතියේදී පොලිසිය පරදවා දෙවැනි සතියේදී විවේකයක් ලබාගැනීමෙන් අනතුරුව පස්වැනි සතියේදී සී.ආර්. කණ්ඩායම පරාජය කළ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, හයවැනි සතියේදී මහනුවර කණ්ඩායම සමග සම වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 2 ක්ද ඇතුළුව ලකුණු 15 කට හිමිකම් කියමිනි.
එම කණ්ඩායම් සමග තවමත් කරට කර සටනක නිරතව සිටින හැව්ලොක්ස් කණ්ඩායම පළමු සතියේදී නාවික හමුදාව සමග සම වෙමින්, දෙවැනි සතියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරදවා, පස්වැනි සතියේදී විවේකයක් ලබාගනිමින්, හයවැනි සතියේදී ගුවන් හමුදාව පරාජය කිරීමට සමත් විය. ඒ අනුව ප්‍රසාද ලකුණක්ද සමග හැව්ලොක්ස් කණ්ඩායම ලබා සිටින ලකුණු සංඛ්‍යාව 14 කි.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.