Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බී.ආර්.සී. ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

බී.ආර්.සී. ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

editorial - 2025 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතිය නිමාවන විට ‘බී’ කාණ්ඩායමේ පෙරමුණට පැමිණීමට ලකුණු 25.605 ක් ලබා සිටින බී.ආර්.සී. ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි. පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 47.46 ක් ලබා තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. 

පළමු සතියේදී පානදුර කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් වාර්තා කළ පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි සතියේදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියහ. තෙවැනි සතියේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් ලබමින් ඔවුන් තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටියි.  

බී.ආර්.සී. කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ පළමු සතියේ මුවර්ස් කණ්ඩායමට එරෙහිවද, දෙවැනි සතියේදී කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිවද, තෙවැනි සතියේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිවද පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරමිනි. බී.ආර්.සී. කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවූ ඒස් කැපිටල් කණ්ඩායමට පසුබැසීමට සිදුව තිබේ.
 
තෙවැනි සතියෙදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 35.29 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. මුවර්ස් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ තෙවැනි සතියේදී එන්.සී.සී. කණ්ඩායම සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ලකුණු 24.25 කට හිමිකම් කියමිනි. 
මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර සමත්ව සිටින අතර ඔහු ඉනිම් 4 ක් ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතකයක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 312 කි. නුගේගොඩ කණ්ඩායමේ ටී.එම්. සම්පත් ඉනිම් 5 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 257 ක්ද, කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් ඉනිම් 3 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 245 ක්ද රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. 

කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ඉනිම් 6 කදී කඩුලු 19 ක් බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ඊට කඩුලු 5 බැගින් දවාගත් එක් අවස්ථාවක්ද ඇතුළත් වේ. කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමික එදිරිසිංහ ඉනිම් 5 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 19 ක්ද, පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර ඉනිම් 6 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 18 ක්ද දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. 

තරගාවලියේ සිවුවැනි සතිය එළබෙන සෙනසුරාදා (27 වැනිදා) ආරම්භ වන අතර එහිදී බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව නුගේගොඩ පිල සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, පානදුර පිලට එරෙහිව හලාවත මේරියන්ස් පිල එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, කෝල්ට්ස් පිලට එරෙහිව සී.සී.සී. පිල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. පිලට එරෙහිව කුරුණෑගල යොවුන් පිල රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීත්, බී.ආර්.සී. පිලට එරෙහිව බදුරලිය පිල කුරුණෑගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේදීත්, ඒස් කැපිටල් පිලට එරෙහිව මුවර්ස් පිල කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත් තරග වදිනු ඇත. 


අදහස් (0)

බී.ආර්.සී. ‘බී’ කාණ්ඩයේ පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.