Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත ක්‍රීඩකයින් නූසා වෙරළේදී බිව්වාද?
අළු බඳුන

එංගලන්ත ක්‍රීඩකයින් නූසා වෙරළේදී බිව්වාද?

editorial - 2025 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(සැකසුම - දමින්ද විජේසූරිය)

තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙසින් ‘අළු බඳුන’ පරාජය වී සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්, නූසා වෙරළ තීරයේදී අධික ලෙස මත්පැන් පානය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. අළු බඳුන තරගාවලියේ දෙවන සහ තුන්වන ටෙස්ට් තරඟ අතර ලැබුණු විවේකයකදී එංගලන්ත ක්‍රීඩකයෝ ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ රාත්‍රී හතරක් ගත කළහ. 

සුප්‍රකට ‘බී.බී.සී.’ (බි්‍රතාන්‍ය ගුවන්විදුලි සේවය) ඇතුළු මාධ්‍ය කිහිපයක් වාර්තා කළේ සමහර ක්‍රීඩකයින් ඔවුන්ගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් නූසා වෙරළ තීරයේදී මෙන්ම දෙවන ටෙස්ට් තරඟය සඳහා පැවැති බි්‍රස්බේන් ටෙස්ට් තරගයට දින දෙකකට පෙරත් මත්පැන් පානය කරමින් විනෝද වූ බවයි. 

ඇඩිලේඩ් හි පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී ඔවුන් වඩාත් හොඳ දස්කම් පෙන්වූ නමුත් ඇඩිලේඩ් තරගයත් ලකුණු 82 කින් පරාජය වූ බැවින් ඕස්ටේ්‍රලියානුවන් සතු වූ අළු බඳුන නැවත දිනා ගැනීමට නොහැකි අඩියකට එංගලන්ත කණ්ඩායම ඇද වැටී තිබේ. අළු බඳුන තරගාවලියේදී එංගලන්ත පිල 3-0 ක් පරාජය කිරීම සඳහා ඕස්ටේ්‍රලියානුවන්ට අවශ්‍ය වූයේ දින 11 ක් පමණි. 

එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ රොබට් කී මහතා කියා සිටියේ “පත්තර වල පළවන ශීර්ෂ පාඨ ඇතැම් විට නොමඟ යවන සුළු විය හැකියි. ඒ වගේ දේවල් ‘මුග්ධ’ ක්‍රියා ලෙසයි සැලකෙන්නේ”
“ක්‍රීඩකයින් දින හයක් තිස්සේ මත්පැන් පානය කළා කියන එක පිළිගන්න බෑ. අලංකාර කර ඇති හෝ අතිශයෝක්තියෙන් කියන දේවල් වලට ප්‍රතිවිරුද්ධව පෙනෙන කරුණු මොනවාදැයි කියලා අපි සොයා බලමු.” යයි ද රොබට් කී මහතා බී.බී.සී. ක්‍රීඩා ප්‍රවෘත්ති සේවයට කියා සිටියේය. 

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයන් සඳහා නූසා වෙරළේ විවේකය සංවිධානය කරන ලද්දේ අළු බඳුන තරගාවලිය ආරම්භ වීමටත් පෙරදීය. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලියේ පරාජය වී සිටි නමුත් නූසා වෙරළේ විවේකය අවලංගු නොකෙරිණ. 

මුළු සංචිතයම නූසා හි සිටියදී, රොබට් කී මහතා ක්වීන්ස්ලන්තයේම තවත් පෙදෙසක සිටියේය.

මාධ්‍ය අවධානය අපේක්ෂාවෙන් සිටින ලෙස එංගලන්ත ක්‍රීඩකයන්ට අවවාද කර තිබුණු අතර ඔවුන් රූපවාහිනී කැමරා ශිල්පීන්ගේ සහ ඡායාරූප ශිල්පීන්ගේ වාර්තාකරණයට හසුවිය. නගරයේ ප්‍රධාන මහා වීදියේ අවන්හලක පිටත මේසයක සිට මත්පැන් පානය කරන එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයින්ගේ ඡායාරූප තිබිණ. 

එහෙත් රොබට් කී මහතා කියන්නේ වෙනමම කතාවකි. 

“දිවා ආහාරය සඳහා වාඩි වී සිටින පුද්ගලයින් පස් දෙනෙකු හෝ හය දෙනෙකුගේ ඡායාරූපයක් ඔබ දකින විට, ඔවුන්ගෙන් දෙදෙනෙකු කිසිවක් පානය කරමින් සිටිනවා නම් එතැන ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි ඔබ විමසා බැලිය යුතුය,” යයි රොබට් කී මහතා පැවසීය.

“මිනිසුන් නිතරම අධික ලෙස මත්පැන් පානය කරන බව සත්‍ය නම්, එය මුග්ධ ක්‍රියාවක් තමයි. එය පිළිගත නොහැකියි... මමත් මත්පැන් සංස්කෘතියකට එකඟ වෙන්නේ නෑ. මම මත්පැන් සංස්කෘතියකට කැමති නෑ.” යයි ද රොබට් කී මහතා පැවසීය. 

(බී.බී.සී. ක්‍රීඩා සේවය ඇසුරිනි)

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩකයින් නූසා වෙරළේදී බිව්වාද?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.