Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් - තිරිමාන්න - දික්වැල්ල යළි කැඳවති

මැතිව්ස් - තිරිමාන්න - දික්වැල්ල යළි කැඳවති

editorial - 2022 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
පෞද්ගලික හේතූන් මත කෙටි කලක් තරග බිමෙන් ඉවත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. ඔවුන්ට අමතරව තරග තහනමකට ලක්ව සිට ඉන් මිඳුණු නිරෝෂන් දික්වැල්ල සහ තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති අෂේන් ඩැනියෙල්ද ටෙස්ට් සංචිතයට එක්වීමට නියමිතය.

මේ වන විට එම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, උප නායක ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් සමග ජෛව බුබුලක් තුළ දින 7 කින් සමන්විත නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටිති. එම නිරෝධායනය අවසන් වූ වහාම ඔවුන් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමද, එම තරගාවලිය නිමාවට පත්වූ වහාම ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

මේ දක්වා ටෙස්ට් තරග 92 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් එහිදී ද්විත්ව ශතකයක්, ශතක 11 ක් සහ අර්ධ ශතක 37 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6338 කි. ටෙස්ට් තරග 42 කදී ලකුණු 2063 ක් රැස්කිරීමට තිරිමාන්න සමත්ව ඇත්තේ ශතක 3 ක් සහ අර්ධ ශතක 10 ක් සමගිනි. ඉකුත් වසරේ (2021) නොවැබර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගාවලිය සඳහා මැතිව්ස් ක්‍රීඩා කළ අතර බිරිඳගේ දරු ප්‍රසූතිය හේතුවෙන් තිරිමාන්න එම තරගාවලියට ක්‍රීඩා නොකළේය.  

එංගලන්ත සංචාරයේදී ජෛව බුබළ කඩ කිරීමේ වරදට දඬවම් ලෙස පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම මෙම වසරේ ජනවාරි මාසයේදී ඉවත් කිරීමෙන් අනතුරුව නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ පළමු අවස්ථාව මෙයයි. නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තරග 7 කදී ලකුණු 48.42 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 339 ක් රැස්කරමින් දැක්වූ දක්ෂතා යළිත් වරක් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ දොරටු විවර කරදී තිබේ.

අෂේන් ඩැනියෙල්ට ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇත්තේ රමේෂ් මෙන්ඩිස් අබාධයකට ලක්වීම හේතුවෙනි. ඕස්ට්‍රේලියානු සංචාරයේදී පුහුණුවීම් අතරතුර දකුණතේ මහපටගිල්ලේ අස්ථි බිඳීමක් සිදුවීම හේතුවෙන් රමේෂ් මෙන්ඩිස්ට ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇත. තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 21 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩක අෂේන් ඩැනියෙල් නැෂනල් සුපර් ලීග් තරගාවලියේ තරග 3 කදී කඩුලු 10 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

ඉන්දීය සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කළ ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ටද සංචිතයේ ස්ථානයක් හිමිව තිබේ. මේ දක්වා ටෙස්ට් තරග 68 කදී ශ්‍රී ලංකාව නියෝජන කර ඇති ලක්මාල්, එහිදී කඩුලු 168 ක් බිඳහෙළා ඇත්තේ 36.27 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඊට ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 4 ක්ද ඇතුළත් වේ.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 15 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කර ඇති නමුත් තවත් ටෙස්ට් වරම් හිමිකර ගෙන නොමැති පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එක්දින කඩුලු 20 කටද, විස්සයි-20 කඩුලු 7 කටද හිමිකම් කියන වැන්ඩසේට, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ තරග 2 කදී දවාගත හැකි වූයේ කඩුල්ලක් පමණි.

ඉකුත් වසරේ (2021) නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඕෂධ ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, කමිල් මිෂාර, ලක්ෂාන් සඳකැන්, සුමින්ද ලක්ෂාන් සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය සහ අෂේන් ඩැනියෙල්

 


අදහස් (0)

මැතිව්ස් - තිරිමාන්න - දික්වැල්ල යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.