Last Update  :  2026-03-21 20:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ගෙන් ශතකයක්
පළමු පෙළ ක්‍රිකට්

මැතිව්ස්ගෙන් ශතකයක්

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුවත්, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරේ තමන්ගේ උනන්දුව සහ කැපවීම මැනවින් පෙන්නුම් කරන ඇන්ජලෝ මැතිව්ස්, අද (21 වැනිදා) බී.ආර්.සී. පිලට එරෙහිව කෝල්ට්ස් පිල වෙනුවෙන් ලකුණු 144 ක් ලබාගත්තේය. මැතිව්ස් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ලබාගත් මුල්ම පළමු පෙළ ශතකය මෙය වන අතර එය අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ සුපිරි 8 වටයේදී ලබාගත් ශතකයකි.
 
මැතිව්ස්ගේ ශතකය නිසා කෝල්ට්ස් පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 463 ක් ලබාගත්තේය. 

තරගාවලියේ සුපිරි 8 වටයේදී මැතිව්ස්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ නොදැවී 96, 93, 63, නොදැවී 48 සහ 144 ක් වශයෙනි. පිට පිටම ඉනිම 5 කදී මැතිව්ස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 444 ක් වන අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 148.00 කි. පසුගිය සති අන්තයේදී මැතිව්ස්ගේ පිතිහරඹය (63 සහ නොදැවී 48) නිසා ඒස් කැපිටල් පිල පරාජය කරමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. එම සති අන්තය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය (49.465) අත්කරගෙන සිටි කෝල්ට්ස් පිල සහ පෙරමුණේ පසුවූ මුවර්ස් කණ්ඩායම (52.185) අතර පරතරය වූයේ ප්‍රසාද ලකුණු 2.720 කි. 

බී.ආර්.සී. පිලට එරෙහිව තරගයේ පළමු දිනය නතර කරන විට කෝල්ට්ස් පිල කඩුලු 5 ට ලකුණු 325 ක් ලබාගෙන සිටි අතර මැතිව්ස් නොදැවී ලකුණු 88 ක් ලබා සිටියේය. 

දිනේෂ් චන්දිමාල් පන්දු 68 කදී ලකුණු 67 ක් ලබා දැවී යන විට කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 132- ක් ලබා සිටියේය. එතැනින් පිටියට පිවිසි මැතිව්ස්, නායක ධනංජය ලක්ෂාන් (44) දැවී යාමෙන් පසුව මුදිත ලක්ෂාන් (39) සමඟ එක්ව, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, අද සිය 33 වැනි පළමු පෙළ ශතකය සම්පූරණ කළ අතර පැය තුනහමාරකට වැඩි කාලයක් පිටියේ ගතකළ හෙතෙම සිය ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් කළේය. 

සිය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙනගිය පළපුරුදු පිතිකරුවා දැවී යාමෙන් පසුව කෝල්ට්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 03 කි. 

පසුගිය ජුනි මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් මැතිව්ස් ටෙස්ට් තරග 119 කට ක්‍රීඩා කරමින් ටෙස්ට් ලකුණු 8214 ක් ලබා ඇත්තෙකි. 

ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන ඇතත්, මැතිව්ස් තවමත් එක්දින හෝ විස්සයි-20 ක්‍රිඩාවෙන් විශ්‍රාම ගෙන නැත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය ලත් ‘ස්ටාර් ස්පෝට්ස්’ සමාගම වෙනුවෙන් නිමාවූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසින් ද කටයුතු කළ මැතිව්ස් ඒ දිනවල සිය හිතවතුන් සමග පවසා තිබුණේ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ කටයුතු සිදුවන ආකාරය අනුව “මමත් හරියට කළකිරිලා ඉන්නේ” යනුවෙනි. 


අදහස් (0)

මැතිව්ස්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.