Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බලාපොරොත්තුව 3-0 ක තරගාවලි ජයක්

බලාපොරොත්තුව 3-0 ක තරගාවලි ජයක්

යොහාන් භාසුර - 2019 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව හෙට (31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයත් ජය ලබා සම්පූර්ණ තරගාවලි ජයක් ලැබීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව බව නායක දිමුත් කරුණාරත්න අද (30) පැවසීය. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය ද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පළමු තරග දෙකම ජය ලබා මේ වන විට 2-0 ක් ලෙස පෙරමුණේ පසුවෙයි. මෙම තරගය ජය ලැබුවහොත් ශ්‍රී ලංකාවට 3-0 කින් තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව තිබේ.

මෙම තරගය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇගයීම වෙනුවෙන් නම් කර ඇති අතර තරගය අවසානයේ කුලසේකර ඇගයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් කර තිබේ.  

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්න වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මෙය අපි මාස 44 කට පසුව ලැබූ එක්දින තරගාවලිය ජයග්‍රහණය. අපි දැනගත්තෙත් පස්සෙ. අපි පසුගිය කාළෙම තරග දිනලා ඉඳලා නෑ. ඒ නිසා මේ තරගයත් ජය ලබා සම්පූර්ණ තරගාවලිය ජය ගෙන සතුටු වෙන්නයි අපි හිතාගෙන ඉන්නේ”

“අපි ක්‍රීඩා කරන සෑම තරගයක්ම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. නුවන් අයියා වෙනුවෙන් විශේෂයෙන් මෙම තරගය ජයග්‍රහණය කරන්න ඕනෙ”

“ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණ ලබා තරගාවලියේ සියලුම තරග ජය ලැබීම අපේ ඉලක්කයයි”
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනසක් වන්නේද යන ප්‍රශ්නයට දිමුත් මෙසේ අදහස් දැක්වීය.

“තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම ගැන තේරීම් කමිටුව සහ පුහුණුකරු සමඟ සාකච්ඡා කළා. මේ තරගයේදී දසුන්, ළහිරු සහ ෂෙහාන් යන ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්න පුළුවන්”

“අනිවාර්යෙන්ම වෙනසක් වෙනවා. මම තරගාවලිය ආරම්භයේදීම මම කිව්වා තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන කියලා. අපි තරගය ජය ලබන කණ්ඩායමක් තෝරන අතරේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නත් බලනවා”

“ගොඩක් ලොකු වෙනස් නොවෙයි. වෙනස්කම් දෙකක් හෝ තුනක් වගේ තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ”
ලෝක කුසලාන තරගාවලියේදී අවස්ථාව අහිමිවූ අකිල ධනංජයගේ නැවත පැමිණීම පිළිබඳව දිමුත් මෙසේ පැවසීය.  

“අකිල ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයකින් පන්දු යැව්වා. දකුණු අප්‍රිකානු සංචාරයේ පන්දු යැව්වාට වඩා හොඳින් පන්දු යැව්වා. ‘ඒ’ සංචාරයේ ක්‍රීඩා කරලා එහි අත්දැකීම් ද සමඟ අකිල දැන් ඇවිත් ඉන්නේ. මම හිතන්නෙ අකිල නැවතත් පරණ තත්ත්වයට ඇවිත් තියෙනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් හොඳ දෙයක්”

බංග්ලාදේශ පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමමට නියමිතව තිබුණි.  

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, කසුන් රාජිත, වනිඳු හසරංග, අකිල ධනංජය, ළහිරු කුමාර සහ ෂෙහාන් ජයසූරිය

බංග්ලාදේශ සංචිතය:
තමීම් ඉක්බාල් (නායක), ෆර්හාද් රීසා, සෞම්‍ය සාකර්, එනමුල් හක්, මොහොමඞ් මිතුන්, මුෂ්ෆිකුර් රහීම්, මහමුද් උල්හා, මොසඩික් හොසේන්, ශබීර් රෙහෙමාන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, රුබෙල් හුසේන්, ටස්කින් අහමඞ් සහ මුස්තෆිෂූර් රහමන්


අදහස් (0)

බලාපොරොත්තුව 3-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.