තමීම් ඉක්බාල් (206) සහ ඉම්රුල් කායිස් (150) පැවැත්වූ වාර්තාගත ආරම්භක සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු පිලට එරෙහිව කුල්නාහිදී අද (02) අවසන් වූ පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට බංග්ලාදේශ පිල සමත් විය.
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර 2001 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 9 ක් පවත්වා ඇති අතර මෙම තරගයට පෙර පැවැති තරග අටම පාකිස්තානය ජය ලබා සිටියේය.
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (02) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 555 ක් රැස්කරමින් ලකුණු 259 ක් ඉදිරියෙන් සිටියේය.
මෙම ලකුණු 555 බංග්ලාදේශය ටෙස්ට් තරගයක ඉනිමකදී රැස්කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. බංග්ලාදේශය 2013 වසරේ ශ්රී ලංකාවට එරෙහිව ගාල්ලේදී රැස්කළ ලකුණු 638 ටෙස්ට් ඉනිම වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන තමිම් ඉක්බාල් සහ ඉම්රුල් කායිස් ලකුණු 312 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. මෙම සම්බන්ධතාව බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව වේ.
මොහොමඞ් අෂ්රාෆුල් සහ මුෂ්ෆිකුර් රහීම් 2013 වසරේ ශ්රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පස්වැනි කඩුල්ලට ලකුණු 267 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කායිස් පසුගිය වසරේ (2014) සිම්බාබ්වේට එරෙහිව චිතගොන්හිදී ලකුණු 224 ක සම්බන්ධතාවක් පවත්වමින් ආරම්භක කඩුල්ලේ පැරණි වාර්තාවට ද හිමිකම් කීහ.
තමිම් ඉක්බාල් පන්දු 278 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 206 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මෙය තමීම් ඉක්බාල්ගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වේ.
තමීම් ඉක්බාල් රැස්කළ මෙම ලකුණු 206 බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට පෙර මුෂ්ෆිකුර් රහීම් 2013 වසරේ ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 200 ක් රැස්කරමින් එම වාර්තාවට හිමිකම් කීය.
ඉම්රුල් කායිස් පන්දු 240 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 150 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 120 කදී සියලූ දෙනා දැවී 332
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් 25, මුෂ්ෆිකුර් රහීම් 32, සෞම්‍ය සර්කර් 33, වහබ් රියාස් 55/3, මොහොමඞ් හෆීෂ් 47/2, ෂුල්ෆිකාර් බාබාරා 99/2, යසීර් ෂා 86/3)
පාකිස්තානු පිල පළමු ඉනිම ඕවර 168.4 කදී සියලූ දෙනා දැවී 628
(මොහොමඞ් හෆීෂ් 224, සමි අස්ලාම් 20, අෂාර් අලී 83, යුනිස් ඛාන් 33, මිස්බා උල් හක් 59, ආසාද් ශාෆික් 83, සෆ්රාෂ් අහ්මඞ් 82, තයිජුල් ඉස්ලාම් 163/6, ෂුවගාට හොම් 120/2)
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 136 කදී කඩුලූ 6 ට 555
(තමිම් ඉක්බාල් 206, ඉම්රුල් කායිස් 150, මොමිනුල් හක් 21, මහුමුදුල්ලා 40, ශකීබ් අල් හසන් නොදැවී 76, සෞම්‍ය සර්කර් 33, ජුනයිඞ් ඛාන් 88/2, මොහොමඞ් හෆීෂ් 82/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.