Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් පැමිණි බංග්ලාදේශ කාන්තාවෝ සිය පළමු තරගයේදීම පාකිස්තානය පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයේදී අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් පාකිස්තානු කාන්තා කණ්ඩායම ලකුණු 129 කට සීමාකළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඕවර 31.1 කදී කඩුලු 3 ට ලකුණු 131 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ.
ආරම්භක පිතිකාරිණි ෆර්ඝානා හක් සිව්වැනි ඕවරයේදී දැවී ගියද, සෙසු බංග්ලාදේශ පිතිකාරිණියෝ කිසියම් සංවර බවකින් යුක්තව පිතිහරඹයේ යෙදුණහ. ඉලක්කය පහසු වුවද, අනවශ්‍ය කලබලයක් නොපෙන්වූ ඔව්හු පන්දු 113 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්තේ 1.623 ක ශුද්ධ ලකුණු වේගයක් රැකගනිමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සැකැස්ම අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේදී ශූද්ධ ලකුණු වේගය මහත් වැදගත්කමක් ගනී.
පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ඩයනා බෙග් සහ ෆාතිමා සානා බංග්ලාදේශ පිතිකාරිණියන්ට තියුණු තර්ජනයක් එල්ල කළහ. එහෙත් බංග්ලාදේශය වෙනුවෙන් සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ රුබ්යා හයිදර් ලබාගත් අර්ධ ශතකය නිසා බංග්ලාදේශය කිසිදු අසීරුතාවකින් තොරවම ජයටැඹ පසුකර ගියහ.
පන්දු 77 කින් 8 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ කෝඩුකාරිය, සිය නායිකා නිගාර් සුල්තානා (23) සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ද ගොඩනංවමින් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආවාය. සුල්තානා දැවී ගියද හයිදර් ආපසු ක්‍රීඩාගාරයට ගියේ තරගය අවසන් කිරීමෙන් පසුවය.
කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී බංග්ලාදේශය (7) සහ පාකිස්තානය (8) අතර එතරම් පරතරයක් නැත. ප්‍රසාද ලකුණු අතින් ගත්තද දෙපිල අතර ඇත්තේ එක ලකුණක පරතරයකි. එහෙත් අද තරගයේදී බංග්ලාදේශ කාන්තාවන් පන්දු යැවූයේ පාකිස්තානු ක්‍රීඩිකාවන්ට ගව් ගණනක් ඉදිරියෙන් සිටින ලෙසිනි.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කාන්තාවෝ පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් පළමු ඕවරයේදීම ඔවුන්ගේ කඩුලු දෙකක් බිඳ වැටිණ. පසුව මුනීබා අලී (17) සහ රමීම් ශමීම් (23) එක්ව පාකිස්තානු ඉනිම යම්තාක් දුරට ගොඩගත් නමුත් මුනීබාගේ දැවී යාමත් සමගින් ලකුණු 23 ක් ඇතුළත තවත් පිතිකාරිණියෝ දෙදෙනෙක් දැවී ගියහ.
ඕවර 50 එක්දින තරගයකදී ලකුණු 67 කට කඩුලු 5 ක් දැවීයාම මහත් විනාශකාරී තත්ත්වයකි. ඒ වන විටත් නිමාවී තිබුණේ ඕවර 18.3 ක් බැවින් ලකුණු වේගය කරා යාම පසෙක දමා කඩුලු රැකගැනීමට පාකිස්තානු කාන්තාවන්ට සිදුවිය.
කඩුලු රැකගනිමින් පන්දුවට පහර දෙමින් සිටියද පා දඟ පන්දු යවන්නී ෂෝනා අක්තාර් පන්දුව අතට ගැනීමත් සමගින් සියල්ල වෙනස් විය. සිය මුල්ම ඕවරයේදී ලකුණක්වත් ලබාගැනීමට අවසර නොදී නතාලියා පර්වේස් දවාගත් ෂෝනා දෙවැනි ඕවරයේදී තවත් කඩුල්ලක් දවාගත්තාය. ෂෝනාගේ දෙවැනි ඕවරය නිමාවන විට ඇයගේ පන්දු යැවීම සටහන් වූයේ 2-2-00-2 ලෙසිනි.
ෆර්ගානා හක් විශිෂ්ට අන්දමින් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් ෂෝනාට තුන්වැනි කඩුල්ලත් හිමිවූයේ පාාකිස්තානු ඉනිම ලකුණු 129 න් අවසන් වෙමිනි. ෂෝනා ලකුණු 05 කට කඩුලු 3 ක් දවාගෙන සිටියාය.
පාකිස්තානු කාන්තා පිලේ කඩුලු 7 ක් අක්තාර්ලා තිදෙනා අතර බෙදී ගියේය.
පාකිස්තානු කාන්තාවෝ - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 129 යි
(මුනිබා අලී 17, රමීන් ශමීම් 23, ආලියා රියාස් 13, සිද්රා නවාස් 15, ෆාතිමා සානා 22, ඩයනා බෙග් නොදැවී 16, මරූෆා අක්තාර් 31/2, නහීදා අක්තාර් 19/2, ෂොනා අක්තර් 05/3)
බංග්ලාදේශය - ඕවර 31.1 කදී කඩුලු 3 ක් දැවී 131 යි
(රුබ්යා හයිදර් නොදැවී 54, ශර්මීන් අක්තාර් 10, නිගාර් සුල්තානා 23, ෂෝභනා මෝස්තරී නොදැවී 24)
ඡායාරූප - අයි.සී.සී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.