Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....

පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....

editorial - 2021 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සාර්ථක වන්නේ නම් ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රහණ කරා යාමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇතැයි පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් මහතා එසේ කියා සිටියේය. 

ඕමාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකක් සහ තවත් පුහුණු තරග දෙකකට (බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියානු කණ්ඩායමට එරෙහිව) සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා සිට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරගාවලියට පිවිසෙනු ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඉරිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. 

“මා හිතන්නේ අපේ පිතිකරුවන් සාර්ථක වෙනවා නම් එයින් අපට (ජයග්‍රහණ කරා යාමට) හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද අපේ පන්දු යැවීමේ අංශය ඉතාමත් ප්‍රබලයි. ඒ වගේම අපේ පන්දු රැකීමේ තත්ත්වයත් පසුගිය කාලයේදී හිතාගන්න බැරි තරමට දියුණු වෙලා තියෙනවා” යයි ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මිකී ආතර් මහතා පැවසීය. 

“ඒක (පන්දුවට පහරදීම) ගැන තමයි අපි පසුගිය දවස් 9 දීම ඉතාමත් විශාල අවධානයක් යොමු කළේ”
“අපේ ක්‍රීඩකයන් පුහුණුවීම් වලදී කළ යුත්තේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත් පැහැදිළි ස්ථාවරයක ඉන්නේ... ඒ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිළි  දියුණුවක් ලබාගෙන තියෙන බවට මා ඉතා තදින් විශ්වාස කරනවා..., ඒ කෝක වෙතත්, ඒක තවමත් ක්‍රියාත්මක වන වැඩසටහනක්... මෙතන මැජික් යෂ්ඨීයක් නම් නෑ” යයිද මිකී ආතර් මහතා පැවසීය. 

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග වලින් දෙකක් ජයගැනීමට සමත් වේ නම් විස්සයි-20 ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියට එක්වීමේ අවස්ථව ශ්‍රී ලංකා පිලට තිබේ. ඉන් පසුව ඇත්තේ අසීරු ගමනකි. 

මිකී ආතර් මහතා බලාපොරොත්තු තබා ඇත්තේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සාර්ථක වන තුරුය. එහෙත් තිත්ත ඇත්ත නම් මේ වසරේදී සහභාගි වූ විස්සයි-20 අන්තර්ජාතික තරග 12 දීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150 පසුකර ගොස් ඇත්තේ එකම වතාවක් පමණක් වීමයි. මෙම තරග 12 න් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේද තරග 3 ක් පමණි. 

මාර්තු 05 වැනිදා කොදෙව් පිලට එරෙහිව ලකුණු 160 ක් ලබාගත් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොළඹදී පැවැති විස්සයි-20 තරග දෙකක් ද ජයගත්තේය. 

එහෙත් ඉන්දියානුවන්ට දුන්න බේත් දකුණු අප්‍රිකානුවන්ටත් දීමට යාමේදී කේෂව් මහාරාජ්, ඒඩ්න් මාක්රම්, තබ්රේස් ශම්සි සහ බියොන් ෆෝචුන් යන දඟ පන්දු යවන්නෝ සිව්දෙනා එක්ව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් කරකවා අතහැරියහ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 135, 103 ක් සහ 120 කි. 

මේ වසරේදී පැවැති විස්සයි-20 තරග 12 ක දත්ත පිරික්සීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 121 කි. ඒ අතරවාරයේදී කඩුලු 7 ක් හෝ ඊට වැඩියෙන් අහිමි කරගනී. ශ්‍රී ලංකා පිතිකරුවන් ඕවර 20 කට අයත් පන්දු 120 කින් සාමාන්‍ය වශයෙන් පන්දු 47 ක් හෝ 48 ක් ලකුණු ලබාගත නොහැකිව අපතේ යයි. 

අනෙක් අතට විස්සයි-20 තරගයක ඉතාමත් තීරණාත්මක මෙහෙවරක් කරන හතරේ සහ හයේ පහර ගැසීමේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් සිටින්නේ බොහෝ පසුපසිනි. (පහත වගුව ඒ සියල්ල පැහැදිළි කරනු ඇත). 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ශක්තිමත් යයි කීවද, ගෙවී ගිය තරග 12 දී ඔවුන් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 60 කි. සාමාන්‍යය වශයෙන් තරයකදී කඩුලු 5 කි. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හතරේ පහර 114 ක් සහ හයේ පහර 51 ක් ගැසීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වී සිටිති. 

මේ වර්තමාන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම මුහුණ දී සිටින කටුක යථාර්ථයයි. 
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අද දක්වාම පවතින හොඳම ජයග්‍රහණ ප්‍රතිශතයට (64.28%) හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම 2009 දී සහ 2012 දී අනුශූරයන් වූ අතර 2014 දී කුසලානය දිනාගත්තේය. එහෙත් 2016 දී මූලික වටයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා පිලට නොහැකි විය. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය පිතිකරුවන්ගේ හිඟයයි. විනය කඩකිරීමේ චෝදනා හේතුවෙන් මේ වන විට තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ ප්‍රබලයෝ තිදෙනෙකි. 

එය “දරාගන්න බැරි තරම් පාඩුවක්” යයි පුහුණුකරු මිකී ආතර් මහතා කීවද ඕස්ටේ්‍රලියානු කණ්ඩායම 2003 ලෝක කුසලාන දිනාගත්තේ තරගාවලිය ආරම්භයේදීම එල්ල වූ තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවක් හේතුවෙන් ෂේන් වෝන් ගෙදර යැවීමෙන් පසුවය. 

“ඒක ටිකක් අමිහිරි අත්දැකීමක්. ඒ වගේ තත්ත්වයක් එක්ක අපිට අපේ සැලසුම් වල මුලටම යන්න සිද්ධ වෙලා තියෙනවා.... ඒ කෝක වුණත් ඒ නිසා තමයි අපිට චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන් හමුවෙන්නේ. ඔවුන් දෙදෙනාම මේ වෙනකොට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා” යයිද පුහුණුකරුවා පැවසීය. 

 


අදහස් (0)

පිතිකරුවන් සාර්ථක වෙනවා නම්....

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.