Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ක්‍රීඩකයින්ට මිලියන 35 ක්

පාපන්දු ක්‍රීඩකයින්ට මිලියන 35 ක්

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෝට්ටේ මාදිවෙල කිඹුලාවල ‘මොනාර්ච් ඉම්පීරියල්’ හෝටලයේ හෙට (20) රාත්‍රී 7ට පැවැත්වෙන පාපන්දු ක්‍රීඩා වර්ණ සම්මාන ප්‍රදානෝත්සවයේදී පාපන්දු ක්‍රීඩා සමාජ හා ක්‍රීඩකයන් සඳහා රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් ත්‍යාග හා දිරි දීමනා ලෙස ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයායි. ඉසව් හතරක් මුල්කර ගනිමින් මෙම පාපන්දු වර්ණ ප්‍රදානය සංවිධානය කෙරේ.

මෙහිදී කෝටි දෙකකට ආසන්න මුදලක් ත්‍යාග ලෙස බෙදා දෙන්නේ නොබෝදා නිමාවට පත්වූ සුපර් ලීග් තරගාවලියේ ජයග්‍රාහකයන් හා සහභාගීත්ව කණ්ඩායම් වෙනුවෙනි.

වසර 1995දී සාක් රන් කුසලාන දිනා ගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනකු වෙනුවෙන් උපහාර පිරිනැමීමක් ලෙස ඔවුන් එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් ප්‍රදානය කිරීමට ද මෙහිදී කටයුතු යොදා තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පළමු වරට හඳුන්වා දෙන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ තරග සැලැස්ම එළිදැක්වීමත් අද පැවැත්වෙන උත්සවය හමුවේ සිදුකෙරේ.

අද උත්සවය හමුවේ පැවැති සාෆ් පාපන්දු ශූරතා තරගාවලියට හා කොළඹ දී නිමාවට පත්වූ අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට රුපියල් කෝටියක් පමණ වන දිරි දීමනා (බෝනස්) ලබාදීමට කටයුතු කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’යට පැවසුවේ, දේශීය පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ වෙත මෙතරම් විශාල ත්‍යාග මුදලක් බෙදා දෙන පළමු අවස්ථාව මෙය බවයි.

මේ දක්වා ශ්‍රී ලංකාව දිනා ඇති ඉහළම ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රහණය සැලකිල්ලට ගනිමින් 1995 කොළඹ පැවැති සාක් රන් කුසලාන (දකුණු ආසියානු) පාපන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් හා නිලධාරීන් 18 දෙනාට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් එදා සාක් රන් කුසලාන දිනාගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ මොහොමඩ් අමුනුල්ලා, රොෂාන් පෙරේරා, ප්‍රභාත් ෆර්ඩිනන්ඩ්, ලියනගේ පෙරේරා, ඉමිටියාස් රහීම්, මොහොමඩ් රිසා, ජගත් රෝහණ, ඇන්ටන් වොම්බැක්, ලලිත් වීරසිංහ, මොහොමඩ් රිස්වාන්, අජිත් ප්‍රසන්න, මංජුල සිරිසේන හා ඩේවිඩ් සරත් වැල්ලගේ එහිදී ඇගයීමට ලක් වන ක්‍රීඩකයෝ වෙති.

කෙසේ වුවත් දැනට ජීවතුන් අතර නැති ක්‍රීඩක රොෂාන් පෙරේරා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ද, ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රසීල ජාතික ජෝර්ජ් ෆෙරෙයිරා මහතා වෙනුවෙන් ඔහුගේ පුත් මාකොස් ෆෙරෙයිරා මහතා ද මෙම උපහාර උළෙලට කැඳවීම් ලබා තිබේ.

ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායමේ සේවය සඳහා කැඳවීම් ලබා මෙරටට පැමිණ සිටින මාකොස් ෆෙරෙයිරා මහතා තවමත් දිවයිනෙන් පිටත්ව ගොස් නැත.

මේ අතර පළමු වතාවට පැවැත්වෙන අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ලබන අඟහරුවාදා (25) කුරුණෑගල මාලිගාපිටියේදී ආරම්භ වේ. එහි සමාරම්භක තරගය පස්වරු 6.30ට ඌව කණ්ඩායම හා රජරට කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙනි.

ඊට පෙර තරගාවලියේ පළමු තරගය පස්වරු 3.30ට නැගෙනහිර කණ්ඩායම හා මධ්‍යම කණ්ඩායම අතර පැවැත්වේ. සුපර් ලීග් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 10ටම එහිදී ස්ථාන ලබාගත් අනුපිළිවෙළට අනුව රුපියල් මිලියන 5ක්, මිලියන 3.5ක්, මිලියන 2.75ක්, මිලියන 2.5ක්, මිලියන 2.25ක්, මිලියන 2ක්, මිලියන 1.75ක්, මිලියන 1.5ක්, මිලියන 1.25ක් හා මිලියන එකක් බැගින් මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ඒ අනුව ශූරතාව දිනාගත් කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 5ක් හිමි වේ. කෙසේ වුවත් වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම විසින් කොළඹ කණ්ඩායමට එරෙහිව ගොනුකර ඇති විරෝධතාවක් තවදුරටත් විභාග වේ.

එහිදී නිව් යංග්ස් කණ්ඩායම විරෝධතාවයෙන් ඉල්ලා සිටින පරිදි තමන්ට එරෙහිව ලබාගත් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය අවලංගු වුවහොත් දැනට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම සිව්වැනි ස්ථානය තෙක් පහළට වැටේ. එහිදී නිව් යංග්ස් අටවැනි ස්ථානයේ සිට හත්වැනි ස්ථානයට පත්වේ.

මේ අතර අද පැවැත්වෙන වර්ණ ප්‍රදානයේදී සුපර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් පාවහන් සම්මානය බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමේ ෂෙනාල් සන්දේෂ්ට ද, දක්ෂතම දැල් රකින්නාට හිමි රන් දෑත් සම්මානය සී හෝක්ස් (නාවික හමුදා) කණ්ඩායමේ උදයංග පෙරේරාට ද හිමිවනු ඇත.

 


අදහස් (0)

පාපන්දු ක්‍රීඩකයින්ට මිලියන 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.