Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පසුගාමී කොදෙව්වෝ පරාජයෙන් ගැලවෙති

පසුගාමී කොදෙව්වෝ පරාජයෙන් ගැලවෙති

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙරේ නිසි තක්සේරුවක යෙදුණු කොදෙව්වෝ අනවශ්‍ය අවදානමක් නොගෙනම ඇන්ටිගුවාහිදී පවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර දැමූහ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් සමන්විත තරගාවලිය තවමත් සම්පූර්ණයෙන්ම විවෘතව පවතී. 

තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් දිනයේ ලකුණු 341 ක් ලබාගත යුතුව තිබිණ. අවශ්‍ය ලකුණු වේගය ඕවරයකදී ලකුණු 3.8 කි. වර්තමාන විස්සයි-20 යුගයේදී ඕවරයකදී ලකුණු 3.8 ක් යනු කජ්ජක්ද නොවේ. එහෙත් ඉලක්ක හඹා යාමට ගොසින් කඩුල අහිමිකරගත හොත් පසුව ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් සූක්‍ෂම ගණනයක යෙදුණු කොදෙව්වෝ ජයග්‍රහණය හඹා යාම අතහැර දමා ආරක්‍ෂාවීම මැනවයි යන ආකල්පයෙන් තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ බ්‍රහස්පතින්දා දිනය ගෙවා දැමූහ.  

තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තත්ත්වයක පැවැති නමුත් කඩුලු 8 ක් අතැතිව තිබියදීත් කොදෙව්වන්ගේ ලකුණු රැස්කිරීමේ වේගය වූයේ ඕවරයකට ලකුණු 2 කටත් අඩුවෙනි. තරගයේ 40 වැනි ඕවරය ක්‍රියාත්මක වෙද්දීත් ලකුණු සංඛ්‍යාව 78 ක් විය. 
නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ඒ වන විටත් පිටියේ සිටි බැවින් ඔහුට අවශ්‍ය වූයේ නම් ඉලක්කය හඹා යාමේ උත්සාහයක් ගත හැකිව තිබිණ. එහෙත් ඒ වන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි බැවින් තරගය බේරා ගන්නවා විනා ජයග්‍රහණය සොයා යන්නට ගොස් අනවශ්‍ය අවදානමක වැටීමට කොදෙව්වෝ බිය වූහ. 

එබැවින් දිනය අවසානය දක්වාම ඕවරයකදී යන්තම් ලකුණු 2 ක් ලබාගත් කොදෙව්වෝ දිනය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 236 ක් ලබා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ. පැය 7 කට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 274 කට මුහුණ දුන් නිකෲමා බෝනර් (නොදැවී 113) ශතකයක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගනිමින් කොදෙව් පිල මෙවන් පසුගාමී අදියරකට තල්ලු කර දැමූ පැතුම් නිස්සංකට සුබපැතුම් පමණක් ඉතිරි විය. 

නිකෲමා බෝනර්ට ශතකය වෙනුවෙන් අවශ්‍ය වූයේ එක ලකුණකි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 8 කට මුහුණ දුන්නේය. 
තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමේ ලකුණුද පෙනෙන්නට තිබිණ. පොද වැස්සක් ඇදහැළෙමින් පැවැති අතර තණතීරු ඇදගෙන ඒමට පිටියේ සේවක මණ්ඩලය සූදානමින් සිටියේය. මේ කෙටි කාලයේදී විවිධාකාරයේ ප්‍රමාදවීම් පැවැති අතර බොහෝ දෙනාට සිතුණේ සිය තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින නිකෲමා බෝනර්ට මංගල ශතකය වෙනුවෙන් තවත් බොහෝ වේලායක් බලා සිටීමට සිදුවිය හැකි බවයි. එහෙත් විශ්ව ප්‍රනාන්දුගේ පන්දු 9 කට එක දිගට මුහුණ දුන් බෝනර් එක්ස්ට්‍රා කවර්ස් හරහා පන්දුව හතරේ සීමාවට යවමින් ශතකය සම්පූර්ණ කළේය. හතරේ පහර 13 ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් වී තිබිණ. 

දිනය ආරම්භයේ සිට ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් අවශ්‍ය වූවත් පළමු පැයේදී කොදෙව් ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 31 ක් පමණි. ඔවුන්ට අවශ්‍ය වූයේ කඩුලු අතේ තිබියදීම දිවා ආහාරය ගැනීම විය හැකිය. එහෙත් ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමේ අන්තය මාරු කළ ශ්‍රී ලංකා නායකයා ඉතා ඉක්මනින්ම කඩුල්ලක් දවා ගත්තේය. මේ අතරවාරයේදී අනෙක් අන්තයෙන් පන්දු යවමින් සිටි ධනංජය ද සිල්වා පිතිකරුවන්ට කිසිම බුරුළක් නොදීමට වගබලා ගත් හෙයින් එක දිගට නොයිඳුල් ඕවර 4 ක් යැවිණ. 

දිවා ආහාරයෙන් පසුය යැවුණු ඕවර 27 දී කොදෙව්වෝ ලකුණු 90 ක් ලබාගත්තේ තරමක උනන්දුවක් පෙන්නුම් කරමිනි. ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා පිලට ප්‍රශ්නයක් නොවීය. ඔවන්ගේ ප්‍රශ්නය වූයේ කොදෙව් පිතිකරුවන් පහර කරා නොයාමයි. 

තණතීරුවෙන්ද පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් නොවූයේය. මේ අතරවාරයේදී කයිල් මේයර්ස් සහ බෝනර් අතර ශතක සම්බන්ධතාවද සම්පූර්ණ විය. එහෙත් තේ පානයෙන් පසුව යැවුණු පළමු ඕවරයේදී කයිල් මේයර්ස්ව ඩ්‍රයිව් පහරකට පොළඹවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වූයේය. ප්‍රතිඵලය ස්ලිප්හි සිටි ළහිරු තිරිමාන්නට උඩපන්දුවකි.

තරගයේ දෙවැනි වතාවටත් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකින් බ්ලැක්වුඩ්ගේ කඩුල්ල කැඩී ගියේය. කඩින් කඩ පැවැති පොද වැස්සත් හේතුවෙන් පන්දුව දෝලනය වන ආකාරයක් පෙන්නුම් කළ හෙයින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු දැල්විණ. එහෙත් නිකෲමා බෝනර් සහ ජේසන් හෝල්ඩර් එක්ව අවසන් හෝරාව දක්වා තරගය ඇදගෙන ගියහ. 
පැය 5 කදී කළ නොහැකි වූ යමක් පැයකදී කළ නොහැකි බැවින් දෙපිලේ නායකයෝ තරගය නතර කිරිමට එකඟ වූහ. 

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 169   
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 271 යි  
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 476  
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම   
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ප.ඇඹුල්දෙණිය 23
ජෝන් කැම්බෙල් - ඇ.දික්වැල්ල ප.විශ්ව ප්‍රනාන්දු  11
නිකෲමා බෝනර් - නොදැවී 113
කයිල් මේයර්ස් - ඇ.තිරිමාන්න ප.ඇඹුල්දෙණිය 52
ජර්මේන් බ්ලැක්වුඩ් - ප.විශ්ව ප්‍රනාන්දු 4
ජේසන් හෝල්ඩර් - නොදැවී  18
අතිරේක 15
එකතුව ඕවර 100 කදී කඩුලු 4 ක් දැවී  236
කඩුලු වැටීම :   
1-12 (ජෝන් කැම්බෙල්), 2-78(ක්‍රෙග් බ්‍රැත්වෙයිට්), 3-183(කයිල් මේයර්ස්), 4-204(ජර්මේන් බ්ලැක්වුඩ්)
පන්දු යැවීම :   
සුරංග ලක්මාල් : 25-10-33-0, විශ්ව ප්‍රනාන්දු : 19-0-73-2, ලසිත් ඇඹුල්දෙණිය : 28-9-62-2, දුෂ්මන්ත චමීර : 18-3-44-0, ධනංජය ද සිල්වා : 10-5-12-0,
   
තරගයේ වීරයා : නිකෲමා බෝනර්  

 


අදහස් (0)

පසුගාමී කොදෙව්වෝ පරාජයෙන් ගැලවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.