Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිරෝධායනයට සුගතදාය හෝටලය ඉල්ලති

නිරෝධායනයට සුගතදාය හෝටලය ඉල්ලති

editorial - 2021 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දීය තරග සංචාරයෙන් පසුව පෙරළා දිවයිනට ළඟාවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මාතර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකිරීම පිළිබඳව එල්ලවූ විරෝධතා හේතුවෙන් ඔවුන් හෙට (3) කොළඹට රැගෙන ඒමට සූදානම් කර ඇතැයි වාර්තාවේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන  ක්‍රීඩිකාවන් දෙදෙනකුද ඇතුළත් ඉන්දීය තරග සංචාරයට සහභාගිවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එහිදී විරෝධය පළ කර ඇත්තේ පොරොන්දු පරිදි තමන්ව කොළඹ සුගතදාස හෝටලයේ නිරෝධායන පහසුකම් ලබා නොදීමෙන් සති දෙකක් පුරා තමන්ගේ දෛනික පුහුණු කටයුතු අඩාල වන බවයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා අදාල ක්‍රීඩිකාවන්  දෙදෙනාම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් නැතත්, ඉන් අයෙකුට හෝ ඒ සඳහා අවස්ථාව ලැබෙන බැවින් මාතර නවාතැන් ගැනීමට සිදුවීමෙන් ඔවුන්ගේ පුහුණුවීම් අඩාලවීම බරපතල කරුණක් වන බව පෙන්වා දී තිබේ.

මෙම 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 

ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර ඉතිරිව තිබෙන සම්පූර්ණ දින ගණන කාලයක් පුරා පුහුණුවීම් අත්හැර දැමීමට ඔවුන්ට සිදුවීම මෙහිදී ලොකුම ගැටළුව බවට පත්ව තිබේ.
 
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘පතියාලා’ නගරයේදී පැවති 60 වැනි ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු හා නිලධාරීන් දෙදනකුගෙන්  සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ පාන්දර පෙරළා දිවයිනට ළඟාවීමෙන් පසුව  සති දෙකක කාලයක නිරෝධායනය සඳහා ඔවුන් මාතර නිල්වලා විද්‍යා පීඨයේ ස්ථාපිත කර තිබෙන  නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

‘පතියාලා’ නගරයේ සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පෙරළා දිවයිනට ළඟාවී ඇත්තේ චන්දිගාර්, නවදිල්ලිය  හා ඩෝහා කටාර් හරහා ඉතා වෙහෙසකර ගුවන් ගමන් කිහිපයකින් පසුවය. 

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී කටාර් ගුවන් තොටුපොලේ සිට කොළඹට ඒමට ඊළඟ ගුවන් යානය ලබාගැනීම සඳහා පැය 13 ක කාලයක් එහි ගත කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සිදුව තිබේ. මුළු ගුවන් ගමන ගෙවාදැමීම සඳහා ඔවුන්ට දිනකටත් වැඩි කාලයක් ගතව තිබේ.

මේ පිළිබඳව ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ ආයතනයේ මහලේකම් ප්‍රේම පින්නවල මහතා ‘ලංකාදිප’ය කළ විමසුමකදී මෙසේ පැවසීය.

‘‘අපි ඔවුන් කොළඹ නවාතැන්පොලක රැඳවීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා  ක්‍රීඩා අමාත්‍යාංශයේ ටොරින්ටන් පැරණි නේවාසිකාගාරය ලබාගැනීමට කටයුතු කරනවා. මේ සියළු කටයුතු මලල ක්‍රීඩා සංගමය ඉටු කරන්නෙ බලවත් දුෂ්කරතා මැදයි. ඉන්දීය තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කළේත් ප්‍රශ්න ගොඩක් මැදයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඉන්දියාවට යන කොටත් එන කොටත් ගුවන් තොටුපොළවල්වල වැඩි කාලයක් ගෙවන්න වුණු එක ගැනත් අපි දන්නවා.

ඒක අපිට වළක්වා ගන්න පුළුවන් වුණු කාරණයක් නොවෙයි. මොකද අධික මිල ගණන් යටතේ වුණත් මේ දිනවල ගුවන් යානා වෙන්කර ගැනීමත් ඉතාම දුෂ්කර වැඩක්. ඒ සියල්ල විඳ දරා ගනිමින් සෞඛ්‍ය ප්‍රධානීන්ගේ දැඩි සෞඛ්‍ය නීති රීති වලට යටත් වෙලා තමයි අපි මේ විදියට ඉන්දීය තරග සංචාරය සාර්ථක කර ගත්තෙ. ඒ වගේම අපි දැන් උත්සාහ ගන්නවා ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් කොළඹට ගෙන්වා නිරෝධායනයට යොමු  කරන්න’’.

මේ අතර ඉන්දීය තරග සංචාරයට පෙර ජාතික කොවිඩ්  මර්දන ඒකකයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව ඔවුන් ජෛව බුබුළක් යටතේ දින 14ක නිරෝධායන කාලයක් සඳහා සුගතදාස හෝටල් පරිශ්‍රයට යොමු කිරීම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණි.  ඒ එම හෝටල් පරිශ්‍රය අතරමැදි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගැනීම සඳහා  අවසර ඉල්ලා සිටිමිනි.

 ඒ අතරම එම ඉල්ලීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාටද  යොමු කරමින් අවධාරණය කර ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම  දින 14ක පූර්ව නිරෝධායන කාලයක් ගෙවා ඊට සහභාගිවීම අනිවාර්ය කර ඇති  බැවින් සුගතදාස ක්‍රීඩා හෝටලය අතරමැදි නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන්කරදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉන්දීය ප්‍රාන්ත මලල  ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම රන් පදක්කමක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් නවයක් හිමිකර ගත්තේ ඊට සහභාගි වී ලෝකඩ පදක්කම් ලද මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා  නිලානි රත්නායක හා මීටර 800 ක්‍රිඩීකා නිමාලි රත්නායද ටෝකියෝ ඔලිම්පික් නිර්දේශ  අපේක්ෂාවෙන් තවදුරටත් පසුවේ.


අදහස් (0)

නිරෝධායනයට සුගතදාය හෝටලය ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.