Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව කෙටුම්පත දෙකොණ විලක්කුවක් වෙයි

නව කෙටුම්පත දෙකොණ විලක්කුවක් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආදායමෙන් වැඩි කොටසක් ඉන්දියාවට,  ඕස්ටේ‍්‍රලියාවට සහ එංගලන්තයට අත්පත්කර ගැනීමේත් එහි තීන්දු තීරණ ගැනීමේ බලය වැඩිකරගැනීමේත් අරමුණු ඇතිව සකස් කරන ලද නව කෙටුම්පත නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙනු ඇතැයි අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

යම් හෙයකින් මෙම කෙටුම්ත අනුමත කරවාගැනීම සඳහා මේ මස 29 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවහොත් බොහෝ විට එම කෙටුම්පත අනුමත නොවීමට ඉඩ ඇතැයිද අන්තර්ජාතික ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රබලම විරෝධය දක්වන්නේ දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් මණ්ඩලයයි.

පිටු 21 කින් සමන්විත මෙම කෙටුම්පත අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූලිකාංග උල්ලංඝණය කර තිබෙන බැවින් එය වහාම ඉල්ලා අස්කරගත යුතු යයි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් මණ්ඩලයේ සභාපති කි‍්‍රස් නැන්සානි මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ලිපියක් යවමින් දන්වා ඇතැයි රොයිටර් සහ ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබිණ.

මේ අතර  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තය හැරුණු විට කි‍්‍රකට් ලෝකයේ සෙසු රටවල් මෙම කෙටුම්පතට එරෙහිව හීන්සීරුවේ සංවිධානය වන බවත් අන්තර්ජාතික ආරංචිමාර්ග වලින් කියැවේ.

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයද ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය දක්වා තිබේ. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන නිලධාරීන් තම තමන්ගේ කි‍්‍රකට් පාලක මණ්ඩලවලට ලොකු හැන්දෙන් බෙදාගැනීම අශෝභන බවත් ඔවුන්ගේ වගකීම විය යුත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාව ලෝක ව්‍යාප්ත කී‍්‍රඩාවක් ලෙසින් තවත් ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් පෙරේදා කළ විමසීමකදී එහි උසස් නිලධාරීන් කිහිප දෙනකුම කියා සිටියේ සකස් කරන ලද කෙටුම්පතට තමන් දැඩි විරෝධය දක්වන නමුත් තත්ත්වය ප‍්‍රවේසමෙන් විමසා බලා කි‍්‍රකට් කී‍්‍රඩාවේ බලවත් රටවල් අමනාප කර නොගෙන ඊට මුහුණ දිය යුතු බවයි.

ඒ සම්න්ධයෙන් තීරණයක් ගැනීම අද (23 වැනිදා) පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව සතු බවත් එම තීරණය ගැනීමෙන් පසුව ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විමසා බලන බවත් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පෙරේදා (21 වැනිදා) ලංකාදීපට පැවසීය.

එහෙත් විධායක කමිටු රැස්වීමට පෙරම මෙම කෙටුම්පතට සහාය නොදැක්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (22 වැනිදා) තීරණය කර තිබුණු බවත් තමන්ගේ ස්ථාවරය පාකිස්තානු සහ දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් මණ්ඩල වෙත නිල නොවන මට්ටමෙන් දන්වා යවා තිබුණු බවත් වාර්තා විය. බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ බංග්ලාදේශයද මේ වන විටත් කෙටුම්පතට එරෙහිව සංවිධානය වී තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි විශේෂ පනතක් සම්මත කර ගැනීම සඳහා එහි විශේෂ රැස්වීමකදී පූර්ණ සාමාජිකයන් (ටෙස්ට් තත්ත්වය හිමි රටවල්) 10 දෙනාගෙන් 8 දෙනකු ඊට අනුමැතිය පළකළ යුතුය. එහෙත් මේවන විටත් නවසීලන්තය හැරුණු විට රටවල් 6 ක් ඊට විරෝධය දක්වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඊට ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ඉදිරි සංචාර සැලැස්ම අහෝසි වී යාමත් මීට දශක දෙකකට පමණ ඉහතදී පැවැති ආකාරයට කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රබල රටක් තමන් කැමතිනම් පමණක් වඩාත් දුර්වල රටකට ටෙස්ට් තරගාවලියක් පිරිනැමීමේ වාතාවරණයක් නිර්මාණය වීමත්ය.

ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් හිමිකරගත්තේ වසර 1981 දී වුවත් එංගලන්තය සමග ටෙස්ට් තරග 3 ක තරගාවලියකට මුල් වරට සහභාගි වූයේ 2001 දීය. ඒ සඳහා විශාලතම හේතුව වූයේත් ශී‍්‍ර ලංකා පිල 1996 දී ලෝක කුසලාන දිනාගැනීමත් 1998-99 තරගවාරයේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති බෙන්සන් ඇන්ඞ් හෙජස් එක්දින තරග වලදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතාත්ය.

ටෙස්ට් වරම් හිමිකරගැනීමෙන් අනතුරුව පළමු වසර 20 ක පමණ කාලය තුළදී එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවත්වා තිබුණේ ටෙස්ට් තරග 6 ක් පමණි. ඒ වන විට කි‍්‍රකට් ලෝකයේ ඉතාමත් ප‍්‍රබල කණ්ඩායමක්ව පැවැති බටහිර ඉන්දීය පිල සහ ශී‍්‍ර ලංකාව අතර පළමු වරට ටෙස්ට් තරගයක් පැවැත්වූයේ ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් වසර 12 කට පසුවය. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර පළමු වසර 20 තුළදී පැවැත්වූයේ ටෙස්ට් තරග 5 ක් පමණි.

වර්තමානයේදී කි‍්‍රකට් ලෝකයේ බලවත් රටවල් 3 ක් ලෙසින් සැලකෙන ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය යන රටවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කි‍්‍රයාකාරී කමිටුව විසින් මෙම කෙටුම්පත සකස් කරනු ලැබ ඇතැයි කියැවේ.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, පසුගිය ජනවාරි 9 වැනිදා ඩුබායිහිදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා රැස්වීමේදී එය සභාගත කරන විට පුදුමයට පත්වූයේ සෙසු රටවල නියෝජිතයන් පමණක් නොවේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරි ඬේව් රිචඞ්සන්, උප සභාපති මුස්තෆා කමල් සහ සභාපති ඇලන් අයිසැක් යන මහත්වරුන්ද ඒ පිළිබඳව මහත් විමතියට පත්වී තිබිණ.


අදහස් (4)

නව කෙටුම්පත දෙකොණ විලක්කුවක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.